ඉස්ලාම් හැඳින්වීම

ඉස්ලාම් යනු ඒක දේව වාදී ආගමකි. එනම් ඉස්ලාම් ආගම අදහන්නවුන් එකම එක දෙවියකු අදහන්නවුන්ය. ලෝකයේ තිබෙන්නාවූ එකම ඒක දේව වාදී ආගම ඉස්ලාම් ආගම පමණක් නොවේ. ක්‍රිස්තියානි, යුදෙව් මෙන්ම හින්දු සහ සීක් නම් ආගම්ද ගැඹුරින් අධ්‍යයනය කළ විට ඒවාද ඒක දේව වාදී ආගම් බව වැටහේ. නමුත් ප්‍රායෝගිකව බලන කළ ලෝකයේ ප්‍රධානතම ඒක දේව වාදී ආගම් 3කි. මේවායින්, ඉස්ලාම් සහ යුදෙව් ආගම් බොහෝ අතින් එක සමාන වන අතර, ක්‍රිස්තියානි භක්තිකයින් එක් දෙවියකු පමණක් ඇදහුවද මෙම දෙවියා මුහුණුවර තුනකින් විසින බව ඔවුන් පිළිගනිති.

ඉස්ලාම් යනු අරාබි වචනයක් වන අතර එහි තේරුම සරලව ප්‍රකාශ කරන්නේ නම්, නැමදීමට සුදුස්සා ලොව මවා පරිපෝෂණය කර, පරිපාලනය කරන්නාවූ එකම දෙවියන් වන අල්ලාහ් බව පිළිගෙන ඔහුට කීකරු වී අවනත වීමයි. මෙසේ ඉස්ලාම් ආගම අදහන තැනැත්තා මුස්ලිම් නම් වේ.

අල්ලාහ් යන්නද අරාබි වචනයක් වන අතර එහි තේරු එකම දෙවියා ලෙස සරලව සිංහලට පරිවර්තනය කළ හැක. එනමුත් දෙවියා යන වචනය අල්ලාහ් නම් අරාබි වචනයේ පරිපූර්ණ පරිවර්තනයක් නොවේ. ඊට හේතුව අල්ලාහ් නම් අරාබි වචනය තුළ ලොව මැවුම් කරු සහ සකළ ලෝකයේම හිමිකරු ලෙස නොයෙක් ගැඹුරු අර්ථයන් රඳා පවතී. තවද දෙවියන් නම් වචනය බොහෝ විට භාවිතාවන්නේ කතරගම දෙවියන්, අයියනායක දෙවියන්, දෙදිමුණ්ඩ දෙවියන්, පට්ටිනි දෙවියන්, සමන් දෙවියන් මෙන් නම් දැරූ මිනිසුන්ටය. නමුත් අල්ලාහ් යනු මිනිසකු නොවේ. ඔහු මිනිසා අතුළු සමස්ථ විශ්වයේම මැවුම් කරුය. ඔහුට සමාන කිසි කෙනෙකු කිසිම තැනක නොමැත. මේ හේතූන් නිසා, මුස්ලිම්වරු දෙවියන් යන වචනයට වඩා අල්ලාහ් නම් වචනය භාවිතා කිරීමට ප්‍රිය කරයි.

බොහෝ දෙනාගේ ආකල්පයට අනුව ඉස්ලාම් යනු මුහම්මද් නබිතුමා ලොවට හඳුන්වා දුන් ආගමයි. නමුත් ඉස්ලාම් ආගම ගැඹුරින් අධ්‍යයනය කරන කෙනෙකුට ඊට වෙනස් අදහසක් අවබෝධ වනු ඇත. ඒ කුමක්ද යත් මිනිස් වර්ගයාගේ පළමු ආගම ඉස්ලාම් ආගම යන්නයි.

මෙම කාරණය කියවන විට ඔබට විශ්මයක් සහ කුතුහළයක් ඇති වනු ඇත. නමුත් ඉස්ලාම් යන වචනයෙහි තේරුම නැවත නැවතත් කියවන විට මෙම කියමනෙහි තර්කානුකූලබව වැටහේ. ඒ කෙසේද යත්, අල්ලාහ් මැවූ පළමු මිනිසා ආදම් නම් වේ. මෙම පළමු මිනිසා ඇදහූ ආගම කුමක් විය හැකි ද? අනිවාර්යයෙන්ම ඔහුව මැවූ එම මැවුම්කරුව නමදින්නට ඇති අතර ඔහුට පමණක් අවනතවී කටයුතු කරන්නට ඇත. ඉස්ලාම් යන වචනයෙහි තේරුමද එයයි. එනම් "නැමදීමට සුදුස්සා ලොව මවා පරි පෝෂණය කර, පරිපාලනය කරන්නාවූ එකම දෙවියන් වන අල්ලාහ් බව පිළිගෙන ඔහුට කීකරු වී අවනත වීමයි. මෙසේ ඉස්ලාම් ආගම අදහන තැනැත්තා මුස්ලිම් නම් වේ." එනම් ලොව පළමු මිනිසා වන ආදම් මුස්ලිම් ය.

එසේනම් මුහම්මද් යනු කවුද? කාලයේ අවෑමෙන් මිනිස් වර්ගයා තම ජීවිත වල ලෞකික ආශාවන් පිරිමහගැනීමට දැඩි ප්‍රයත්නයක් දැරීම නිසා, නිතර නිතර තම ස්වාමියා සහ මැවුම්කරු වන අල්ලාහ් පිළිබඳව සහ ඔහුගේ අණ අමතක කරයි. මේ හේතුවෙන් අල්ලාහ් කාලෙන් කාලෙට ඔහුව අමතක කර වැරදි මග යන මිනිසුන් හට අල්ලාහ් පිළිබඳව සහ ඔවුන් මෙලොවට පැමිණීමේ අරමුණ මතක් ක‌ොට යහ මග පෙන්වා දී යහ මග ගැනීමට නිතර නිතර දූතයින් නොහොත් පණිවුඩකරුවන් මාර්ගයෙන් මිනිසුනට අවවාද කරයි. මෙසේ යවන ලද එක් සහ අවසාන පණිවුඩකරුවා මුහම්මද් නම් විය. මුහම්මද් තුමාට කළින්ද පණිවුඩකරුවන් ලක්ෂ ගණනින් මිනිසුන් අතරට යවනලදි. මෙම පණිවුඩ කරුවන් ගෙන් ඇතැමුන්ගේ නම් ශුද්ධවූ කුරාණය නම් අල්ලාහ්ගේ අවසාන පණිවුඩයේ සඳහන් වේ. ඊසා (යේසුස්), මූසා (මෝසස්), ඉබ්‍රාහීම් (ඒබ්‍රහම්), දාවුද් (ඩේවිඩ්), සුලෙෙමාන් (සොලමන්), යඃකූබ් (ජේකොබ්), යූසුෆ් (ජෝසෆ්) යනු මෙම නම් වලින් කිහිපයකි.

මෙම පණිවුඩකරුවන්ගේ නම් ඔබ මීට පෙර අසන්නට ඇති. මෙම නම් යුදෙව් ජනතාව මෙන්ම ක්‍රිස්තියානි ජනතාවගේද මූලාශ්‍රයක් වන බයිබලයේද සඳහන්වේ. ඊට හේතුව බයිබලය යනු අලාහ්ගේ අවසාන පණිවුඩය වන කුරාණය පහළ කිරීමට පෙර පහළ කරන ලද තව්රාත් (ටෝරා) සහ ඉන්ජීල් (ගොස්පෙල්) යන පණිවුඩයන් වල නටඹුන්ය. මෙම සියලු ආගම් වල මූලික පණිවුඩය සමාන නමුත් අවසාන පණිඩුය වන කුරාණය නව පරපුරට ගැලපෙන අයුරින් යාවත්කාලීන කරන ලද සහ මිනිසා විසින් විකෘති කරන ලද පැරණි පණිවුඩ වල නිවැරදි කරන ලද පණිවුඩයයි.

ඉස්ලාම් දහමේ මූලික විශ්වාසය වනාහි අල්ලාහ් හැර නැමදීමට වෙනත් කිසිවකු නොමැති බවත් මුහම්මද් නබිතුමා අල්ලාහ්ගේ අවසාන දූතයා නොහොත් පණිවුඩකරුවා බවත්, ආදම්, මෝසස්, දාවිද්, සොලමන්, යේසුස් සියල්ලෝම අල්ලාහ්ගේ දූතයින් බවත් පිලිගැනීමයි.

අවසාන පණිවුඩයේ සත්‍යතාවය තහවුරු කරන සාක්ෂි කිහිපයක්

අල්ලාහ් විසින් අතීතයේ මිනිස් වර්ගයා අතරට යවන ලද විවිධ පණිවුඩ රැගත් දූතයින්ගේ සත්‍යතාවය ඔප්පු කිරීම පිණිස මෙම දූතයින්ට යම් යම් හාස්කම් ලබාදුනි. මුහම්මද් තුමාට කළින් යවන ලද දූතයකු වන ඊසා හෙවත් යේසුස් හට මළවුන් නැගිට්ටවීම තරම් බලවත් ප්‍රාතිහාර්යයන්ද ලබා දුනි. මේ හේතුවෙන් පසු කාළයේදී ඊසා නොහොත් යේසුස් යනු අල්ලාහ් ගේ තවත් මුහුණුවරක් විය යුතු යැයි ඇතැමුන් වරදවා විශ්වාස කළහ.

අල්ලාහ් විසින් මිනිස්වර්ගයාට යවන ලද අවසාන දූතයා වන මුහම්මද් තුමාට ලබා දුන් බලවත්ම ප්‍රාතිහාර්යය ඔහුට ලබාදුන් කුරාණය නම් වූ පණිවුඩයයි.

කුරාණයේ ප්‍රාතිහාර්යයන්‍

කිසියම් ආගමක් පිළිබඳව විමර්ෂණය කිරීමේදී එම ආගමේ මූලාශ්‍ර වලට යා යුතුය. ඉස්ලාම් ආගමේ මූලාශ්‍රය අල් කුරාණයයි. මුස්ලිම්වරු අල්කුරාණය දේව වාක්‍යය යයි පිලිගනිති. යම් මූලාශ්‍රයක් දේව වාක්‍යයක් යැයි පිළිගැනීමට එම මූලාශ්‍රයේ තිබිය යුතු ලක්ෂණ මොනවාද?

කුරාණය දේව වාක්‍යයක්ද නැද්ද යන්න පරීක්ෂා කිරීමට කුරාණය විසින්ම අප හට ක්‍රම තුනක් උගන්වයි.

  1. දේව වාක්‍යයට සමාන කළ හැකි වාක්‍යයක් කිසිදු මිනිසකු විසින් රචනා කළ නොහැකි විය යුතුය
  2. දේව වාක්‍යයන් තුළ පරස්පර විරුද්ධ වාක්‍යයන් නොතිබිය යුතුය.
  3. දේව වාක්‍යයක නවීන විද්‍යාවේ තහවුරු වුනු කිසිදු කාරණයකට පටහැනි කාරණයක් නොතිබිය යුතුය.

1.දේව වාක්‍යයට සමාන කළ හැකි වාක්‍යයක් කිසිදු මිනිසකු විසින් රචනා කළ නොහැකි විය යුතුය

මේ පිළිබඳව කුරාණය මෙසේ පවසයි.

මෙම කුරාණය වැනි එකක් ගෙන ඒමට මිනිස් වර්ගයා සහ ජින් වරු එකට එක්රැස් වූවත්, ඔවුනට එවන්නක් ගෙන ඒමට නොහැකි වන්නේමය. ඔවුනොවුන් එකිනෙකාට උදව් කළද එවන්නක් ගෙන ආ නොහැකි යැයි පවසන්න. (අල්කුර්ආණ් 17:88)

ඔහු (මුහම්මද් නබි) එය ගොතා ඇතැයි ඔවුන් සිතන්නේද? පවසන්න, එසේනම් ගොතන ලද මෙවන් පරිච්ඡේද 10ක් ගෙන එනු. මේ සඳහා අල්ලාහ් හැර නුඹලාට හැකි අයෙකු කැඳවනු නුඹලා සත්‍යවාදී නම්. (අල්කුර්ආණ් 11:13)

තවද අප අපගේ දාසයා (මුහම්මද් නබි) වෙත පහළ කළ දැය කෙරෙහි නුඹලාට සැක නම්, මෙවන් පරිච්ඡේදයක් ඉදිරිපත් කරනු. තවද නුඹලා සත්‍යවාදිහු නම් අල්ලාහ් හැර නුඹලාගේ උදවු කරුවන්ද කැඳවනු. (අල්කුර්ආණ් 2:23)

ඉහත සඳහන් කුරාණ් පාඨ මගින් අල්ලාහ් මිනිස් වර්ගයා සහ ජින් වර්ගයාට අල්කුරාණයේ එක් පරිච්ඡේදයකට සමාන පරිච්ඡේදයක් හෝ ඉදිරිපත් කරන ලෙස අභියෝග කරයි. පුදුමයට කාරණය නම් අල්කුරාණයේ කුඩාම පරිච්ඡේදය වාක්‍ය 3ක් පමණි. එනමුත් එම පරිච්ඡේදයේ අරාබි භාෂාව හසුරුවා ඇති විශිෂඨත්වය හේතුකොටගෙන වර්ෂ 1400 කට අධික කාළයක් තිස්සේ තවමත් මෙම අභියෝගය කිසිවකු විසින් ජය ගෙන නොමැත.

2. දේව වාක්‍යයන් තුළ පරස්පර විරුද්ධ වාක්‍යයන් නොතිබිය යුතුය.

මේ පිළිබඳව කුරාණය මෙසේ පවසයි

මෙම කුරාණය පිළිබඳව ඔවුන් ගැඹුරින් අවධානය නොකළේද? මෙය අල්ලාහ්ගෙන් හැර වෙනත් කෙනෙකුගෙන් පැමිණ තිබුනේ නම් මෙහි අනන්තවත් වැරදි සහ භේදයන් ඔවුන් දකිනු ඇත, (අල්කුර්ආණ් 4:82)

3. දේව වාක්‍යයක නවීන විද්‍යාවේ තහවුරු වුනු කිසිදු කාරණයකට පටහැනි කාරණයක් නොතිබිය යුතුය.

කුරාණය යනු විද්‍යාත්මක ග්‍රන්ථයක් නොව. කුරාණය යනු අල්ලාහ් විසින් ඔහුගේ දූතයා වන මුහම්මද් තුමා මාර්ගයෙන් සමස්ථ මිනිස් වර්ගයාට පහළ කරන ලද පණිවිඩයයි. මෙම කුරාණය වාක්‍ය 6236 කින් සමන්විත වන අතර මෙහි ඇතැම් වදන් නවීන විද්‍යාවේ දියුණුව නිසා බැබලෙන්නට පටන් අරගෙන ඇත. මෙය වර්තමානයේදී කුරාණයේ දිව්‍යත්වය පිළිබඳ තහවුරු කරන ප්‍රධාන සාධකයයි. මෙවන් උදාහරණ කිහිපයක් පහතින් දැක්වේ.

කළල වර්ධනය පිළිබඳ කුරාණයේ සඳහන් දෑ

කළල වර්ධනය සම්බන්ධයෙන් කුරාණයේ මෙසේ සඳහන් වේ.

නියත වශයෙන්ම මිනිසාව අප මැටියෙන් උත්පාදනය කළෙමු. පසුව අප මිනිසාව බිංදුවක් ලෙස සකස් කර ඉතාමත් ප්‍රවේසම් සහිත ස්ථානයක තැන්පත් කළෙමු. පසුව අප එම බිංදුව අලකා (කූඩැල්ලකු මෙන් ඇලෙන සුළු ලේ කැටියක්) බවට පත් කළෙමු. පසුව එම ලේ කැටිය මුද්ගා (හපන ලද ද්‍රව්‍යක්) බවට පත් කළෙමු. පසුව එම ද්‍රව්‍යය ඇට කටු බවට හරවා, එම ඇට සැකිල්ල මස් මාංශ වලින් ඇන්දවෙමු. පසුව එය තවත් වෙනස් නිපැයුමක් (මිනිස් ජීවිතයක්) බවට පත් කළෙමු. මැවුම් කරුවන්ගෙන් විශිෂ්ඨතම මැවුම්කරු වන අල්ලාහ් ඉමහත් භාග්‍යවන්තයෙකි." (අල්කුර්ආණ් 23:12-14)

වචනානුසාරයෙන් ගත් විට අලකා නම් අරාබි වචනයට තේරුම් තුනක් ඇත.

  1. කූඩැල්ලා
  2. එල්ලෙමින් තිබෙන ද්‍රව්‍යය
  3. ලේ කැටිය

මිනිස් කළලයක දෙවන අදියරයේදී එම කළලය බලවත් අන්වීක්ෂයක් සහිත තාක්ෂණයෙන් පිරිපුන් උපකරණ මගින් නිරීක්ෂණය කළ විට මිනිස් කළලය සහ කූඩැල්ලාගේ හැඩයන් අතර බොහෝ සමානතා දැකිය හැක.

leech
උපුටාගැනීම: Developing human by Moore and Persaud - 5 වන සංස්කරණය, පිටුව 73

තවද මෙම කාලයේදී කළලය පෝෂණය වන්නේ මවගේ ලේ උරා බීමෙනි.

තවද මෙම කාලයේ කළලය මවගේ වැදෑමහ පිටින් එල්ලී පවතී. පහත රූප මගින් මේ බව පැහැදිලි වේ.

suspendedthing1
උපුටාගැනීම: Developing human by Moore and Persaud - 5 වන සංස්කරණය, පිටුව 66

suspendedthing2
උපුටාගැනීම: Developing human by Moore and Persaud - 5 වන සංස්කරණය, පිටුව 66

අලකා යන අරාබි වචනයේ තුන්වන අර්ථය ලේ කැටිය යන්නයි. මෙම අවස්ථාවේ කළලය ලේ කැටියක් මෙන් පෙණෙන බව හඳුනාගෙන ඇත. මීට හේතුව මෙම අවස්ථාවේදී කළලය තුළ වැඩි රුධිර ප්‍රමාණයක් තිබීමයි. තවද කළලයේ තුන්වන සතිය අවසානය තෙක් මෙම රුධිරයේ සංසරනයක් දක්නට නොලැබේ.

අලකා අවස්ථාවෙන් පසුව කළලය මුද්ගා බවට පත්වේ. මුද්ගා නම් අරාබි වචනයේ සිංහල තේරුම සපන ලද ද්‍රව්‍යයක් යන්නය. මෙම අවස්ථාවේ ප්‍රසාරණය කරන ලද ඡායාරූපයක් පහතින් දැක්වේ.

mudhgha
උපුටාගැනීම: Developing human by Moore and Persaud - 8 වන සංස්කරණය, පිටුව 127

වර්ෂ 1400 කට කළින් ජීවත් වූ මුහම්මද් තුමා හට මෙවන් දෑ පිළිබඳ අවබෝධ කිරීමට තියා සාකච්ඡා කිරීමටද හැකියාවක් නොතිබුණි. හේතුව මෙම කාරණා සියල්ල විද්‍යාඥයින් විසින් ඉතාමත්ම මෑත කාළයේදී ඉතාමත්මත් බලවත් නව තාක්ෂණික උපකරණ උපයෝගීකරගෙන සොයාගත් කාරණා නිසාය.

ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට මිනිස් ශුක්‍රාණු සෙෙල තරමක් දියුණු කරන ලද අන්වීක්ෂයකින් නිරීක්ෂණය කරන ලද්දේ 1677 දී හැම් සහ ලුවන්හුක් නම් පුද්ගලයින් දෙදෙනා විසිනි. එවකට ඔවුන් වැරදි ලෙස අවබෝධ කරගත්තේ ශුක්‍රාණු යනු ඉතාමත්ම කුඩා ප්‍රාථමික අවධියේ පසුවන මිනිස් ජීවිතයක් වන අතර මෙම මිනිස් ජීවිතය ගර්භාෂයේ තැන්පත්වීමෙන් පසුව වැඩෙනු ඇති බවය.

ආචාර්ය එමරිටස් කීත් එල් මුවර් යනු මිනිස් සිරුර සහ කළල විද්‍යාව පිළිබඳව ලෝකයේ සිටින වැදගත්ම විශේෂඥයෙකි. ඔහු The developing Human හෙවත් වර්ධනය වන මිනිසා නම් ග්‍රනථය රචනා කළ අතර මෙම ග්‍රන්ථය භාෂා අටකට පරිවර්තනය වී ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂ කමිටුවක් මගින් මෙම ග්‍රන්ථය තනි පුද්ගලයකු විසින් රචනා කළ විශිෂ්ඨතම ග්‍රන්ථය ලෙස නම් කරනලදි. ආචාර්ය කීත් මුවර් කැනඩාවේ ටොරන්ටෝ විශ්වවිද්‍යාලයේ කාය විද්‍යාව සහ සෙෙල ජෙෙව විද්‍යාව පිලිබඳ ආචාර්යවරයාය. ඔහු එම විශ්වවිද්‍යලයේ වෙෙද්‍ය පීඨයේ උප සභාපති ලෙස කටයුතු කර ඇති අතර වර්ෂ 8ක් කාය විද්‍යා දෙපාර්තමේන්තුවේ සභාපති ලෙසද කටයුතු කර තිබේ. 1984 දී කාය විද්‍යා සංගමය මගින් ඔහුට ජේ සී බී ග්‍රාන්ට් සම්මානය නම් වූ කාය විද්‍යා ක්ෂේත්‍රයේ විශිෂ්ඨතම සම්මානයෙන් පිරිනමන ලදි. තවද ඔහු ඇමරිකානු සහ කැනේඩියානු කාය විද්‍යා සංගම් බොහොමයක අධ්‍යක්ෂක ධූරයන් දරා තිබේ.

1981 දී සවුදි අරාබියාවේ දමාම් හි පැවති වෙෙද්‍ය සමුළුවේදී ආචාර්ය මුවර් මෙසේ පැවසූහ.

කුරාණයේ කළල වර්ධනය පිළිබඳ වාක්‍යයන් පැහැදිළි කිරීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා. මෙම වදන් මුහම්මද් තුමාට දෙවියන් විසින් පහළ කරන ලද බවට මට කිසිදු සැකයක් නැත. හේතු මෙම වාක්‍යයන් සියල්ලේම ගැබ්වී ඇති දැනුම මෙම වාක්‍යයන් පහළවී සියවස් ගණනාවක් යනතුරු හෙලිදරවු වී නොතිබීමයි. මුහම්මද් තුමා දෙවියන්ගේ දූතයකු වන බවට මෙය සාක්ෂියකි.

මෙම ප්‍රකාශය හමුවේ කෙනෙකු මොහුගෙන් ඔබ කුරාණය දෙවියන්ගේ වචන බවට විශ්වාස කරනවාදැයි ප්‍රශ්න කළේය. එයට ඔහු ඒ බව විශ්වාස කිරීමට මට කිසිදු පැකිලීමක් නැති බව පිළිතුරු දිය.

තවත් සමුළුවකදී ආචාර්ය මුවර් විසින් කළලයේ හැඩයන් නිතර වෙනස්වීම හේතුවෙන් කළල වර්ධන අවධියන් අධ්‍යයනය කිරීම බෙහෙවින් සංකීර්ණ වීම නිසා කුරාණයේ සඳහන් ආකාරයේ නව වර්ගීකරනයක් යෝජනා කරමි යන්නෙන් පැවසූහ. කිමද කිවහොත් කුරාණයේ මෙම කළල අවධි වර්ග කර අති ක්‍රමය ඉතාමත් සවිස්තරාත්මක නමුත් තේරුමිගැනීමට පහසු සරල වන අතර නව සොයාගැනීම්වලට අනුකූල වන නිසාය.

මෙම සමුළුවේදී ආචාර්ය කීත් මුවර් කළ සම්පූර්ණ කථාව ඇසීමට මෙතැනින් ක්ලික් කරන්න.

කඳු පිළිබඳ කුරාණයේ සඳහන් දෑ

පෘථිවිය (Earth) නමින් හඳුන්වන ග්‍රන්ථයක් ලෝකයේ විශ්වවිද්‍යාල බොහොමයක නිර්දේෂනයක් ලෙස භාවිතා වේ. ආචාර්ය එමරිටස් ෆ්රැන්ක් ප්‍රෙස් යනු මෙම ග්‍රන්ථය රචනා කළ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කෙනෙකි. ඔහු ඇමරිකාවේ හිටපු ජනාධිපති ජිමි කාටර් ගේ විද්‍යා උපදේශකයාද විය. ඔහුගේ මෙම ග්‍රන්ථයට අනුව ගස් වැල් මෙන් කඳු යටින් ඒවාට විශාල ගැඹුරු මුල් තිබෙන බවය. එනම් කඳු වනාහි පොළව ශක්තිමත් කිරීම පිණිස පොළොවෙහි සවි කර ඇති උලක් මෙන් හැඩයක් ඇති බවය.

mountain1
උපුටාගැනීම - පෘථිවිය (Earth) ප්‍රෙස් සහ සීවර් පිටුව 413

mountain2
උපුටාගැනීම - පෘථිවියේ ව්‍යුහය (Anatomy of Earth) කයිලියුක්ස් පිටුව 220

mountain3
උපුටාගැනීම - පෘථිවි විද්‍යාව (Earth science) ටාබුක් සහ ලුට්ජෙන්ස් පිටුව 158

වර්ශ 1400කට ප්‍රථම මෙම කාරණය පිළිබඳව කිසිවකු දැන සිටීමට හැකියාවක් තිබේද? කුරාණය මේ පිළිබඳව මෙසේ පවසයි.

"අප පෘථිවිය විහිදුනු ඇඳක් ලෙසද කඳු උල් ලෙසද සකස් නොකළෙමුද?" (අල්කුර්ආණ් 78:06-07)

කන්දෙහි මුල මතුපිටින් පෙනෙන්නාවූ කන්ද මෙන් කිහිප ගුණයකින් පසු විය හැකි බව නව විද්‍යාව මගින් තහවුරු වී ඇත. මේ අනුව බලනකළ කන්දෙහි හැඩය පිළිබඳව විස්තර කිරීමට ගැලපෙනම වචනය වන්නේ උල යන්නයි. ඊට හේතුව පොළව මතට ගසන ලද උලක් ගත්විට පොළව තුළට බැසගත් උලේ ප්‍රමාණය මතුපිටින් පෙණෙන්නාවූ ප්‍රමාණයට වඩා වැඩි හෙයිනි.

මෙම කාරණා පිළිබඳව නවීන වද්‍යාඥයින් විසින් සොයාගනු ලැබුවේ 19 වන සියවසේ අවසාන භාගයේය. තවද කඳු මගින් පෘථිවියේ කබොල ලෙස හඳුන්වන පෘථිවියේ මතුපිට ස්ථරය ෂ්ථාවර කිරීම කෙරෙහි උපකාරී වේ. එනම් පෘථිවියේ කබොල නොසෙල්වී පැවතීමට උපකාර වන්නේ මෙම කඳුය. මේ පිළිබඳව කුරාණය මෙසේ පවසයි.

"තවද ඔහු විසින් පොළව ඔබත් සමග නොසෙල්වී තිබෙනු පිණිස පොළවෙහි කඳු පිහිටුවා ඇත්තෙමු." (අල්කුර්ආණ් 16:15)

තවද භූචලන ප්ලේටරය Plate Tectonics නමින් හඳුන්වන නව න්‍යාය මගින්ද භූමිය නොසෙල්වී පැවතීමට කඳු හේතුවන බව ඔප්පු වී තිබේ. මෙම කඳු වල කාර්යභාරය පිළිබඳව මිනිසා විසින් වටහාගනු ලැබූයේ 1960 දශකය අවසාන කාලයේදීය.

අද දවස වන විටද කඳු පිළිබඳව රචනාකර ඇති නොයෙක් ග්‍රන්ථ කඳු වල මතුපිට කොටස ගැන පමණක් කථා කරනුයේ මෙම ග්‍රන්ථ රචනා කරන පුද්ගලයින් භූගොල විද්‍යාව විෂය සම්බන්ධ විශේෂඥයින් නොවන නිසාය. හුදෙක් ආගමික ග්‍රන්ථයක් වන කුරාණය භුගෝල විද්‍යාව පිළිබඳ විශේෂඥයකු විසින් වසර 1400 කට ප්‍රථම රචනා කරන්නට ඇත්ද?

පෘථිවියේ මුලාරම්භය පිළිබඳ කුරාණයේ සඳහන් දෑ

එක් අවස්ථාවකදී සමස්ථ විශ්වයම හුදෙක් දුමක්ව පැවති බව නව අජටාකාශවිද්‍යාව මගින් නිරීක්ෂණය කරන ලද හා පිළිගත් න්‍යායකි. එනම් විනිවිධ පෙණෙන ඉතාමත්ම ඝනත්වයකින් යුක්ත උණුසුම් වායුමය සංයුතියක්ව පැවති බවය. මෙය අද දවසේ අජටාකාශවිද්‍යාවේ අවිවාදයෙන් පිළිගත් න්‍යායකි. අද විද්‍යාඥයින් විසින් මෙම දුමෙන් ඉතිරිව පවතින කොටස් මගින් නව තාරකා බිහිවන සැටි නිරීක්ෂණය කර ඇත. පහත රූපය බලන්න.

cosmos
නව තාරකා බිහිවන අයුරු. උපුටාගැනීම අභ්‍යාවකාශ ඇට්ලසය (space atlas) -හෙදර් සහ හෙන්බෙස්ට් පිටුව 50

cosmos
නව තාරකා බිහිවන අයුරු. උපුටාගැනීම Horizons, Exploring the Universe, Seeds, plat 9 - තාරකා විද්‍යා පර්යේෂනය පිළිබඳ විශ්වවිද්‍යාල සංගමය.

කුරාණය මේ සම්බන්ධයෙන් මෙසේ පවසයි.

"පසුව ඔහු දුමාරයක්ව පැවති අහස දෙසට හැරී එයටද පොළොවටද කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පැමිණෙනු යන්නෙන් අණ කළහ." (අල්කුර්ආණ් 41:11)

පෘථිවිය, ඉර, හඳ, තාරකා ඇතුළු විශ්වයේ සියළු ග්‍රහ වස්තූන් මෙම දුමාරයෙන් සැදුම් ලද නිසා, මෙම සියළුම ග්‍රහ වස්තූන් මුළදී එකම ඒකකයක් ව පැවති අතර පසුව වෙන් වී විවිධ වූ ග්‍රහ වස්තූන් බවට පත්විය.

මේ පිළිබඳව කුරාණය මෙසේ පවසයි.

"අහස් සහ පොළව මුලදී එක් ඒකකයක් ලෙස සම්බන්ධවී තිබුන බවත් පසුව අප ඒවා වෙන් කළ බවත් අල්ලාහ් පිළිබඳව අවිශ්වාස කරන්නවුන් දැන නොසිටියේද?" (අල්කුර්ආණ් 21:30)

වර්ෂ 1400කට කළින් පහළ වූ කුරාණය මගින් දෙවියන් විසින් එවකට සිටි ජනතාවට ලොව පිලිගත් බිග් බැං න්‍යාය විස්තර කළ අයුරුයි ඒ. එම කාලයේ ක්ෂීරපථය, චක්‍රාවාටය නම් නවීන විද්‍යාත්මක පද වහරේ නොවූ හෙයින් මේ සියල්ලට අහස යන පදය කුරාණයේ භාවිතා කර ඇත. සියළු ග්‍රහ වස්තු අහසේ අඩංගු හෙයින් මෙය එවකය වඩාත්ම සුදුසු වචනය විය.

ඇල්ෆ්‍රඩ් ක්‍රෝනර් යනු ලෝකයේ නම් තැබූ භූගෝල විද්‍යාඥයෙකි. ඔහු භූගෝල විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු වන අතර, ඔහු ජර්මනියේ මයින්ස් හි පිහිටි ජොහැන්ස් ගුටන්බර්ග් විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සභාපතිද විය.

මේ පිළිබඳව මොහු මෙසේ පැවසීය. මුහම්මද් පැමිණියේ කොහෙන්දැයි සිතන විට ඔහුට විශ්වයේ මුලාරම්භය පිළිබඳව මෙම කරුණු දැන සිටීමට කිසිදු හැකියාවක් නොමැත. මෙම කරුණු විද්‍යාඥයින් විසින් වර්ෂ කිහිපයකට පෙර ඉතාමත්ම සංකීර්ණ සහ දියුණු තාක්ෂණික ක්‍රම භාවිතා කර සොයාගත් කරුණුය. වර්ෂ 1400කට පෙර න්‍යෂ්ඨික විද්‍යාව පිළිබඳව දැන නොසිටි කෙනෙකුට තම මනසින් පෘථිවිය සහ ආකාෂ වස්තූන් එකම ඒකකයකින් පැමිණි බව දැන ගැනීමට කිසිදු හැකියාවක් නොමැති බව මගේ මතයයි.

මොහුගේ මෙම ප්‍රකාශය සටහන් කරගත් වීඩියෝව බැලීමට මෙතනින් ක්ලික් කරන්න.

මස්තිෂ්කය පිළිබඳ කුරාණයේ සඳහන් දෑ

මුහම්මද් නබි තුමා ශුද්ධවූ කාබාවේ දෙවියන් නැමදීමට ඉඩ නොදුන් එවකට සිටි නපුරු නායකයකු සම්බන්ධයෙන් අල්ලාහ් මෙසේ පැවසූහ.

නැත! ඔහු මෙම ක්‍රියාව නැවැත්වූවේ නැත්නම් අප ඔහුගේ "නසියා" (සිරසෙහි ඉදිරි කොටසින්) අල්ලාගන්නෙමු. බොරුකාරී පාපකාරී "නසියා" (සිරසෙහි ඉදිරි කොටස). (අල්කුර්ආණ් 96:15-16).

මෙම වාක්‍යය ගත් කළ කුතුහලය ජනිත කරවන කාරණය නම් අල්ලාහ් විසින් සිරසෙහි ඉදිරි කොටස බොරුකාරී සහ පාපකාරී ලෙස විස්තර කළේ මන්ද? එම නපුරු ක්‍රියාව කළ පුද්ගලයා බොරුකාරී සහ පාපකාරී යන්නෙන් පැවසුවහොත් එය ඕනෑම පුද්ගලයකුට තේරුම් ගත හැකි වනු ඇත. නමුත් එසේ ප්‍රකාශ නොකර සිරසෙහි ඉදිරිකොටස පිළිබඳව සඳහන් කිරීමට බොරු කාරී සහ පාපකාරී ක්‍රියාවන් කෙරෙහි සිරසෙහි මුදුන් පෙදෙස සමග ඇති සම්බන්ධය කුමක්ද?

මෙම ප්‍රශ්ණ වලට පිළිතුරු සෙවීමට ඔබ මොළය පිළිබඳ විශේෂඥයකු විය යුතුය. හිස්කබලෙහි ඉදිරි පෙදෙස ගත්කළ එහි Prefrontal Cortex හෙවත් පුරෝලලාට බාහිකය අඩංගුය. Essentials of Anatomy & Physiology නම් ග්‍රන්ථයේ මෙම පෙදෙසෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව මෙසේ පවසයි. මිනිසාට අභිප්‍රේරණය, සැලසුම් කිරීම, ක්‍රියාවන් ක්‍රියාත්මක කිරීම වැනි දෑ Prefrontal Cortex හෙවත් පරොලලාට බාහිකය තුළ සිදු වේ. තවද ප්‍රචණ්ඩකාරී ක්‍රියා කලාපයන් කෙරෙහිද මෙම පෙදෙස වගකිව යුතුය.

එනම් පුද්ගලයකුගේ අභිප්‍රේරණය, සැලසුම් කිරීම, යහපත් ක්‍රියාවන් මෙන්ම අයහපත් ක්‍රියාවන් සිදුකිරීම, බොරු කීම සහ ඇත්ත කීම වැනි දෑ කෙරෙහි මස්තිෂ්ක බාහිකයේ ඉදිරි පෙදෙස වන පුරොලලාට බාහිකය වගකිව යුතුය. එනම් සිරසෙහි ඉදිරි පෙදෙස බොරුකාරී සහ පාපකාරී යන්නෙන් කුරාණයේ පවසා ඇති දෑ ඉතාමත්ම නිවැරදිය.

brain

මෙම කාරණා පිළිබඳව විද්‍යාඥයින් විසින් අනාවරණය කරන ලද්දේ වර්ෂ 60කට පමණ ආසන්න කාලයේදීය. නමුති වර්ෂ 1400කට ප්‍රථම මෙම කාරණා පිළිබඳව මෙතරම් නිවැරදිලෙස විද්‍යාත්මක ග්‍රන්ථයක් නොවන කුරාණයේ පවසා තිබීම සැබවින්ම විශ්මයජනක කාරණයකි.

මෙවන් කාරණා නිසා නොයෙක් නම් තැබූ විද්‍යාඥයින් කුරාණය පිලිබඳව කර ඇති ප්‍රකාශ සටහන් කරගත් වීඩියෝ පට නැරඹීමට පහත ලින්ක් ක්ලික් කරන්න.

ආචාර්ය ඊ මාෂල් ජොන්සන්
දොස්තර ටී වී එන් පර්සූඩ්
දොස්තර ජෝ ලී සිම්ප්සන්
දොස්තර විලියම් ඩබ්ලිව් හේ.
දොස්තර ජෙරාල්ඩ් සී ගෝරින්ගර්
ආචාර්ය යොශිහිඩේ කොසායි
ආචාර්ය තෙජාතත් තෙජාසෙන් විසින් කුරාණය පිළිබඳ අදහස් දක්වා ප්‍රසිද්ධියෙම ඉස්ලාම් ආගම වළඳගත් අයුරු

ඔබේ අදහස කොමෙන්ට් කරන්න.