වර්තමානයේ ශ්‍රීලංකාවේ මෙන්ව ලෝකයේද ඉස්ලාම් භීතිය ශ්රීඝ්ර ලෙස වර්ධනය වෙමින් තිබේ. මෙම ඉස්ලාම් භීතියේ වර්ධනයත් සමග කරලියට පැමිණ ඇති මාතෘකා කිහිපයකි මූලධර්ම වාදය, අන්තවාදය, වහාබ් වාදය සහ ත්‍රස්තවාදය. මෙම මාතෘකා විටින් විට නිතර අසන්නට ලැබුණද, මේවායෙහි තේරුම් බොහෝ දෙනෙකුට හරි හැටි තේරුමක් නැත. ස්වාභාවිකවම මනුෂ්‍යයා නොදන්නා දේ කෙරෙහි බිය නිසා, මෙම වචන ඇසූ සැනින් ඉස්ලාම් භීතිය වැඩි වනු ඇත. මේ නිසා මෙම වචන කිහිපය විග්රහ කර විචාරය කිරීම අත්‍යාවශ්‍ය කරුණකි.
සාමාන්‍ය ව්‍යවහාරයේ මූලධර්මවාදය ලෙස හඳුන්වන්නේ කිසියම් ආගමක, මතවාදයක හෝ විෂයක්ෂේත්‍රයක මූලධර්ම වලට 100%ක් අවනත වී කටයුකු කිරීමයි. මෙසේ කටයුතු කරන පුද්ගලයා මූලධර්මවාදියා නමින් හැඳන්විය හැක. නමුත් මූලධර්මවාදියකු හුදෙක්ම මූලධර්මවාදියකු වූ පමණින් නරක පුද්ගලයකු වන්නේ නැත. උදාහරණයක් ලෙස ගත් කළ විද්‍යාඥයකු අනිවාර්යයෙන්ම විද්‍යාවේ මූලධර්ම වලට අනුකූලව කටයුතු කළ යුතුය. ඉංජිනේරුවරයකු අනිවාර්යයෙන් ගණිතමය මූලධර්ම වලට අනුව කටයුතු කළ යුතුය. මෙම මූලධර්ම වලට අනුව කටයුතු කිරීම නිසා සමාජයට කිසිදු අයහපත් ප්‍රතිවිපාක අත්වන්නේ නැත. නමුත් අපගේ ප්‍රශ්ණය ආගමික මූලධර්මවාදය පිළිබඳව ය. ඊට හේතුව අද විශේෂයෙන්ම ඉස්ලාම් ආගම ගත් කළ ආගම හා සම්බන්ධ ත්‍රස්තවාදය ලොව පුරා ව්‍යාප්ත වී පැවතීමයි. මේ නිසා මෙම ත්රස්තවාදයට ඉස්ලාම් ධර්මයේ මූලධර්මවල කිසිදු සම්බන්ධයක් ඇත් දැයි සොයා බැලීම අනිවාර්ය කරුණකි.
අද ලොවේ සිදුවන ආගමික ත්‍රස්තවාදය දෙස බලන විට ඉස්ලාම් ධර්මයේ මූලධර්ම වල ප්‍රශ්ණයක් මෙහි තිබෙනවාට කිසිදු සැකයක් නොමැති බව ඇතැමුන් තර්ක කරන්නට පුළුවන. නමුත් සත්‍යය එය නොවේ. විවෘත මනසකින් සිදුවීම් දෙස බලන පුද්ගලයෙකුට මීට හාත්පසින් වෙනස් කාරණයක් දැක ගත හැක. උදාහරණයක් ලෙස ශ්‍රීලංකාවේ LTTE සංවිධානය වසර 30ක් ත්‍රස්ත ක්‍රියා මෙහෙය වූයේ හින්දු ආගමික මූලධර්ම නිසා නොවේ. මෙරටේ විටින් විට අළුත්ගම, දිගන වැනි ඉස්ලාම් විරෝධි ත්‍රස්ත ක්‍රියා සිදුවූයේ බෞද්ධ මූලධර්ම නිසා ද නොවේ. මියන්මාරයේ සමූල ඝාතන වලට හේතුව බෞද්ධ මූලධර්ම නිසා ද නොවේ. කුප්‍රකට කුරුස යුද්ධය ඇතිවූයේ ක්රිස්තියාණි මූලධර්ම නිසා ද නොවේ. හිට්ලර් යුදෙව්වන් මිලියන හයක් සමූල ඝාතනය කළේ ක්රිස්තියාණි මූලධර්ම නිසා නොවේ. මෙලෙස ලැයිස්තුව දිගින් දිගටම දිගහරිමින් යන්නට පුළුවන.
මෙලෙසම වර්තමානයේ පවතින කුප්‍රකට ISIS සංවිධානය, අල් කයිඩා සංවිධානය සහ තලෛබාන් සංවිධානය ගත් කළ මේවායෙහි ආරම්භය අධ්‍යයනය කළ විට මේවා ආගම හා කිසිදු සම්බන්ධයක් නොවන බව පෙණී යයි. උදාහරණයක් ලෙස අල් කයිඩා සහ තාලිබාන් යන සංවිධාන ඇති කළේ ඇමරිකාව විසින් රුසියාව අෆගනිස්ථානයෙන් පලවා හැරීමට බව ඇමරිකාවේ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් විසින් රුපවාහිනී සාකච්ඡාවකදී පිලිගෙන තිබේ. ISIS සංවිධානයේ ආරම්භය සහ වර්ධනය ගැන කියවීමට මෙතනින් ක්ලික් කරන්න.
කෙසේ නමුත් ඉස්ලාම් මූලධර්ම වලින් මිනිසා ත්රස්තවාදයට තල්ලු කිරීමක් කරනවා ද යන්න අධ්‍යයනය කිරීමට අප ඉස්ලාම් මූලධර්ම පිළිබඳව විචාරයක් කරමු
ඉස්ලාම් ධර්මය ගත් කළ, එහි මූලධර්ම පිලිබඳ විස්තර අඩංගු මූලාශ්‍ර කොටස් දෙකකින් සමන්විත වේ.
අල්කුරාණය යනු දේව පණිවිඩය බව මුස්ලිම් බැතිමතුන් විශ්වාස කරති. තවද ලොව මවා පරිපාලනය කරන්නා වූ අල්ලාහ් විසින් කුරාණය අනාවරණය කළ දින පටන් අද වන තුරු වර්ෂ 1400ක් මුළුල්ලේ පද 6236කින් සමන්විත කුරාණයෙහි කිසිදු වෙනසක් සිදු නොවූ බව මුස්ලිම්වරුන්ගේ විශ්වාසයයි. මේ නිසා දේව වාක්‍ය ලෙස පිළිගන්නා වූ කුරාණයේ මූලධර්ම වලට අනුකූලව කටයුතු කිරීම සෑම මුස්ලිම්වරයෙකුගේම වගකීම වේ.
හදීත් යනු දෙවියන්6+ගේ දූතයානන් වන මුහම්මද් නබි තුමාගේ ක්‍රියාවන්, අනුමත කළ දෑ සහ අවවාද යනාදිය ඔහුගේ අනුගාමිකයින් විසින් ඒකරාශි කොටගත් ග්රන්ථ කිහිපයකි. මෙම හදීත් ග්‍රන්ථාරූඨ කරන ලද්දේ මුහම්මද් නබිතුමාගේ ඇවෑමෙන් වර්ෂ 200කට පමණ පසුවය. මේ නිසා මෙම හදීත් 100%ක් නිවැරදි නොවන බව මුස්ලිම් බැතිමතුන් පිලිගන්නා අතර මෙම ග්රන්ථ මූලික වශයෙන්ම භාවිතා කරන්නේ කුරාණයේ යම් යම් අපහැදිලි දෑ පැහැදිලි කරගැනීම පිණිසයි.
මේ නිසා ඉස්ලාම් ධර්මයේ මූලධර්ම ගැන විචාරය කරන විට අප කුරාණයට විශේෂ අවධානයක් යොමු කළ යුතු වන අතර, එහි යම් අපහැදිලි ස්ථානයක් වෙතොත් එය පැහැදිලි කරගැනීම පිණිස හදීත් ග්රන්ථ දෙස බැලිය යුතුය.
කුරාණයේ සඳහන් යුද්ධය සහ සාමය පිළිබඳ පාඨ කිහිපයක් විග්රහ කරමු.
”විශ්වාස කළවුනි! නුඹලා අතර එකඟතාවකින් වූ වෙළෙඳාමෙන් උපයාගත් වස්තූන් හැර නුඹලා අතර නුඹලාගේ වස්තූන් වැරදි ලෙස භුක්ති නොවිඳිවු. නුඹලා නුඹලාවම ඝාතනය නොකරවු. සැබවින්ම අල්ලාහ් නුඹලා කෙරෙහි පරම කරුණාභරිත වන්නේය.” (අල්කුරාණ් 4:29)
ඉහත කුරාණ් පාඨයෙන් එකිනෙකාගේ වස්තූන් කොල්ල කමින් විනාශ නොවන්න, එකිනෙකා ඝාතනය කරනොගන්න, සිය දිවි හාණි කරනොගන්න යනාදීවශයෙන් බොහෝ අර්ථයන් ගැබ්ව පවතී. මේ අනුව එකිනෙකා ඝාතනය කිරීම සහ සිය දිවි හාණිකරගැනීම ඉස්ලාම් ආගමේ සම්පූර්ණයෙන්ම තහනම් වී ඇති අතර සිය දිවි හාණිකරගැනීමට කුරාණයේ කිසිදු ස්ථානයක කිසිදු ඉඩක් ලබා දී නැත.
“වැරදීමකින් මිස විශ්වාසකරන්නෙකු ඝාතනය කිරීමට තවත් විශ්වාසකරන්නෙකුට අයිතියක් නැත. කවරෙකු විශ්වාසකරන්නෙකුව වැරදීමකින් ඝාතනය කළේද එවිට වන්දියක් ලෙස ඔහු විශ්වාසික වහලෙකු නිදහස් කර ඝාතනය වූ අයගේ උරුමක්කාරයින්ට ඔවුන් දාන පරිත්‍යාගයක් වශයෙන් අත්හැරියානම් හැරෙන්න ඔවුන්ට වන්දි මුදල් ගෙවිය යුතුය.” (අල්කුරාණ් 4:92)
ඉහත කුරාණ් වාක්‍යය මගින් එක් මුස්ලිම් වරයකු විසින් යුද බිමේදී වැරදීමකින් තවත් මුස්ලිම් වරයකු ඝාතනය වූ විට අනුගමනය කළ යුතු ක්‍රියා පිලිවෙත් විස්තර කර ඇත. තත්ත්වය මෙසේ පැවතියදී ISIS ත්රස්තවාදීන් විසින් 2019 අප්‍රේල් 21 දින තරු පහේ හෝටල් වල කිසිදු යුදමය වාතාවරණයක් නොමැති සාමකාමී වාතාවරණයක දී කිසිදු තැකීමකින් තොරව මුස්ලිම්වරුන් ද ඝාතනය කළහ. මෙම ක්‍රියාව ඉස්ලාම් ආගමට පටහැනි බවට මීට වඩා සාධක අවශ්‍ය නොවේ.
“යම් ආත්මයක් ඝාතනය කිරීම නිසා දඬුවමක් වශයෙන් හෝ මිහිතලයෙහි ඇතිවන කලහකාරකමක් වැළැක්වීම පණිස හෝ හැරෙන්නට යමෙකු අයුක්ති සහගත ලෙස තවත් ආත්මයක් ඝාතනය කළේ ද, ඔහු මිනිස් සංහතියම ඝාතනය කළා හා සමානය යන්නෙන්ද, කවරෙකු යම් ආත්මයක් ඝාතනයෙන් බේරාගනී ද, ඔහු මිනිස් සංහතියම බේරාගත්තා මෙන්ය යනුවෙන් ඊස්රායිල්ගේ දරුවන්ට අප නියම කළෙමු. සැබවින්ම අපගේ පණිවුඩකරුවන් ඔවුන් වෙත පැහැදිලි සාධක රැගෙන පැමිණියෝය. පසුව සැබැවින්ම ඔවුන් අතුරින් බොහෝ දෙනා පසුව මිහිතලයෙහි සීමාව ඉක්මවා ගියෝය.” (අල්කුරාණ් 5:32)
ඉහත කුරාණ වාක්‍යය මුහම්මද් නබිතුමාට පෙර විසූ යුදෙව් ජාතිකයින්ට පහළ කරන ලද නීතිය පිළිබඳව මුහම්මද් නබිතුමාගේ අනුගාමිකයින්ට අල්ලාහ් විසින් කියාදෙන අයුරුයි. ඉහත නීතිය යුදමය නොවන වාතාවරණයකදී අනුගමනය කළ යුතු නීතියයි. එනම් මුස්ලිම් හෝ මුස්ලිම් නොවන කිසියම් වූ මිනිසකුව නිකරුණේ ඝාතනය කිරීම මුළු මිනිස් සංහතියම ඝාතනය කළා මෙන් වන අතර යම් මිනිසකු ඝාතනයෙන් බේරාගැනීම සමස්ථ මිනිස් සංහතියම බේරාගත්තාමෙන්ය. මෙයයි ඉස්ලාම් නීතිය. මෙම සීමාව ඉක්මවා යන්නෝ අන්තවාදීන් වන බව මෙම කුරාණ පාඨය කියා දෙයි. මුළු මිනිස් සංහතියම ඝාතනය කළ පවට ඔවුන් කෙසේ වන්දි ගෙවිය හැකිද?
"ඉස්ලාම් දහමෙහි බල කිරීමක් නැත. සැබැවින්ම ඍජු මග සදොස්භාවයෙන් වෙන්ව පැහැදිලි විය." (අල්කුරාණ් 2:256)
“තවද ප්‍රතික්ෂේප කළවුන් මොහුගේ පරමාධිපතිගෙන් මොහු හට කිසිදු සංඥාවක් පහළ කරනු ලැබිය යුතු නොවේ දැයි ප්‍රශ්ණ කරති. සැබැවින්ම නුඹ අවවාද කරන්නෙකු පමණි. තවද සෑම සමූහයකටම මග පෙන්වන්නෙකු ඇත.” (අල්කුරාණ් 13:7)
ඉහත කුරාණ වාක්‍යයෙන් අල්ලාහ් විසින් සෑම සමාජයකටම මග පෙන්වන්නන් යවා ඇති බවත් මේ නිසා ඉස්ලාම් ආගමේ කිසිදු බල කිරීමක් නොමැති බවත් අවධාරණය කරයි. උදාහරණ ලෙස ඒබ්‍රහම්, මෝසස්, යේසුස්, ගෞතම, ශිවා, රාමන්, මනූහ් ආදී වශයෙන් සියළු මග පෙන්වන්නන් ඒ ඒ කාළවල මිනිසුන්ට යහ මග පෙන්වා දී ඇති බවත් පසුව මිනිසුන් විසින් ඔවුන් පෙන්වා දී ඇති මග ප්‍රතික්ෂේප කර වෙනස් කර ඇති බවත් පෙන්වා දෙයි.
“තව ද අපි නුඹ වෙත ධර්ම පුස්තකය (අල්කුරාණ්) පෙර තිබූ ධර්ම පුස්තකයන්හි තිබූ දෑ තහවුරු කරන්නක් ලෙස ද ඒවා කෙරෙහි නිර්ණායකයක් ලෙස ද සත්‍යයෙන් යුතුව පහළ කළෙමු. එබැවින් අල්ලාහ් පහළ කළ දෑ මගින් ඔවුන් අතර නුඹ විනිශ්චය කරවු. තවද සත්‍යයෙන් නුඹ වෙත පැමිණි දැයට එරෙහිව ඔවුන්ගේ මනෝ ඉච්ඡාවන් නුඹ අනුගමනය නොකරවු. නුඹලා අතුරින් වූ සෑම සමූහයකටම අපි දහම් නීති මාලාවක් හා ක්‍රියා මාර්ගයක් ඇති කළෙමු. අල්ලාහ් අභිමත කළේ නම් නුඹලාව එකම සමූහයක් ලෙස පත් කරන්නට තිබුණි. එනමුත් නුඹලාට ඔහු ලබා දුන් දෑහි නුඹලාව පිරික්සනු පිණිස එසේ නොකළේය. එබැවින් නුඹලා යහපත වෙත තරඟ කරවු. නුඹලා සියල්ලන්ගේ නැවත යොමුවන ස්ථානය අල්ලාහ් වෙතය. එවිට නුඹලා කවර විෂයෙහි මතභේද ඇතිකරගනිමින් සිටියේ ද ඒ පිළිබඳව ඔහු නුඹලාට දන්වන්නේය.” (අල්කුරාණ් 5:48)
ඉහත කුරාණ පාඨයෙන් කුරාණයට කළින් පහළ කරන ලද ක්‍රිස්තියානි සහ යුදෙව් බැතිමතුන්ගේ බයිබලය, හින්දු බැතිමතුන්ගේ වේද ග්රන්ථ සහ වෙනත් ආගමික මූලාශ්‍ර අල්ලාහ් විසින්ම විවිධ කාල වකවාණු වල යම් යම් කොටස් වලට පහළ කරන ලද බව පවසයි.
ඉස්ලාම් ආගම සහ ක්රිස්තියාණි ආගම අතර සමානතා කියවීමට මෙතැනින් ක්ලික් කරන්න
ඉස්ලාම් ආගම සහ හින්දු ආගම අතර සමානතා කියවීමට මෙතැනින් ක්ලික් කරන්න
එසේම මෙම ආගම් පසු කළෙක මිනිසුන් විසින් තම ලෞකික සහ දේශපාලන අවශ්‍යතා පිණිස මෙම ආගමික මූලාශ්‍ර වලට යම් යම් වෙනස්කම් සිදුකරන ලද හෙයින් ඒවායෙහි සත්‍ය කරුණු තහවුරු කරන සහ අසත්‍ය කරුණු බැහැර කරන නිර්ණායකයක් ලෙස කුරාණය ක්‍රියා කරන බව මෙම පාඨයෙන් පවසයි.
තවද මෙහි සඳහන් කර ඇති ආකාරයට අල්ලාහ්ට අවශ්‍ය නම් සමස්ථ ලෝක වැසියන්ම එකම ආගමක් අදහන එකම සමූහයක් බවට පත් කිරීමට ඔහුට හැකියාව ඇත. නමුත් ඔහුට එසේ කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති අතර ඔහු විසින් අපව පිරික්සීම පිණිස එසේ නොකළ බව හැඟේ.
ඉහත කුරාණ පාඨ වලින් අනෙකුත් ආගම් අදහන්නවුන් සම්බන්ධයෙන් ඉස්ලාම් ආගමේ ස්ථාවරය මනාවට පැහැදිලි වේ. එනම් වෙනත් ආගම් අදහන්නවුනට ඔවුනොවුන්ගේ ආගම් ඇදහීමට ඉස්ලාම් ආගමෙන් සම්පූර්ණ නිදහස දී තිබෙන අතර, එම බැතිමතුන් භේදබින්න වූ කාරණා මතු ලොවේ අල්ලාහ් විසින් ඔවුනට දන්වනු ලබන අතර මුස්ලිම් වරුන් හට ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමට කිසිදු අයිතියක් ඉස්ලාම් ආගමෙන් දී නැත.
නමුත් කුරාණය කියවන විට එහි යුද්ධය හා සම්බන්ධ දැඩි බිය උපදවනසුළු වාක්‍ය බොහෝමයක් ඇත. මේ නිසා කවර අවස්ථාවේ කවර වාක්‍යය අප අනුගමනය කළ යුතුද යන්න ගැටළුවක් යැයි කෙනෙකුට සිතිය හැක.
අල්කුරාණයේ යුද්ධය හා සම්බන්ධ වාක්‍ය කිහිපයක් පහතින් දැක්වේ.
“නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරවු. අල්ලාහ් සර්ව ශ්රාවකය. සර්වඥය යැයි දැන ගනිවු.” (අල්කුරාණ් 2:244)
“සටන් වැදීම නුඹලාට පිළිකුල් වුවද එය නුඹලාට අනිවාර්යය කරනු ලැබ ඇත. නුඹලාට යමක් යහපත්ව තිබියදී නුඹලා එය පිළිකුල් කළ හැක. තවද නුඹලාට යමක් අයහපත්ව තිබියදී නුඹලා එය ප්‍රිය කළ හැක. අල්ලාහ් ඒ බව මැනවින් දන්නේය. නුඹලා ඒ බව නොදන්නෙහුය” (අල්කුරාණ් 2:216)
"ඔවුන් ප්‍රතික්ෂේප කළාක් මෙන්ම නුඹලා ද ප්‍රතික්ෂේප කර නුඹලා (ඔවුන් හා) සමාන වීම ඔවුහු ප්‍රිය කරති. ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයේ ගම් බිම් අතහැර දේශාන්තරණය කරන තුරු ඔවුන් අතුරින් මිතුරන් ඇති කර නොගනිවු. ඔවුන් පිටුපෑවාහු නම් ඔවුන්ව සිරභාරයට ගනිවු. තවද නුඹලා ඔවුන්ව කොතැනක හමු වූවත් නුඹලා ඔවුන්ව ඝාතනය කරවු. තවද ඔවුන් අතුරින් මිතුරෙකු හා උදව්කරුවෙකු නුඹලා නොගනිවු. "(අල්කුරාණ් 4:89)
"නමුත් කවර කණ්ඩායමක් සමග නුඹලාට සාම ගිවිසුමක් අත්තේද, එම කණ්ඩායම සමග එකතු වන්නන් හෝ නුඹලා සමග සටන් වැදීමේ නැතහොත් ඔවුන්ගේ පිරිස සමග සටන් වැදීමෙහි අදහසින් තොරව තම සිත් මැඩ පවත්වාගෙන සාමයෙන් නුඹලා වෙත පැමිණි අය හැරය. අල්ලාහ් අභිමත කළේ නම් නුඹලාට ඉහළින් ඔවුනට බලය ලබා දෙනු ඇත. එවිට ඔවුන් ද නුඹලා සමග සටන් වදිනු ඇත. නමුත් ඔවුන් නුඹලාගෙන් ඉවත් වී නුඹලා සමග ඔවුන් සටන් නොවැද නුඹලා වෙත සාමය ඉදිරිපත් කරන්නේ නම් ඔවුනට එරෙහිව සටන් වැදීමට නුඹලාට කිසිදු මගක් අල්ලාහ් තබා නොමැත. "(අල්කුරාණ් 4:90)
"ශුද්ධවූ මාසයන් ඉක්ම වූ පසු අල්ලාහ්ට ආදේශ තබන්නවුන් නුඹලා දුටු තැන මරා දමවු. තව ද ඔවුන්ව අල්ලාගනිවු. තව ද ඔවුන්ව වටලාගනිවු. නුඹලා සෑම විපරමින් සිටිය යුතු ස්ථානයකම ඔවුන් වෙනුවෙන් සැඟවී වාඩි වී සිටිවු. එවිට ඔවුන් පශ්චාත්තාප වී සලාතය ස්ථාපිත කර සකාතය දුන්නේ නම් ඔවුන්ගේ මගෙහි ඔවුන්ව අතහැර දමවු. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. පරම කරුණාභරිතය." (අල්කුරාණ් 9:5)
ඉහත කුරාණ වාක්‍ය පමණක් කියවන විට ඔබට ඉස්ලාම් ආගම යුද්ධයට පොළඹවන ආගමක් යැයි සිතෙන්නට පුළුවන. නමුත් අල් කුරාණයේ තමන්ගේ අවශ්‍යතාවයන්ට වාසිදායක කොටස් පමණක් අනුගමනය කරමින් වෙනත් පාඨ මගහැරීම ඉස්ලාම් ධර්මයෙන් පිටවීමකි. මේ නිසා අප ඉහත වාක්‍යයන් පහළ වීමේ හේතුව සහ අවස්ථාව හදීත් ග්රන්ථ ආශ්රයෙන් අවබෝධ කරගත යුතුය.
මුහම්මද් නබිතුමා මක්කා නගරයේ ජීවත්ව සිටි කාළයේ ඔහු හට අල්ලාහ් විසින් ඉස්ලාම් ආගම පහල කර එම පහල කරන ලද ආගම පිලිබඳව එහි වැසියන්ට අවවාද කරන ලෙස අණ කරනු ලැබීය. එවකට මක්කා වාසීන් අතලොස්සක් පමණක් ඔහුව පිලිගත් අතර බහුතරය ඔහුව පිලිනොගත්තෝය. නමුත් ඔහු අල්ලාහ්ගේ අණට කීකරුවීම පිණිස ඉස්ලාම් ආගම ප්‍රචාරය කරමින් නිරතව සිටියේය. ඉස්ලාම් ආගමේ වේගවත් වර්ධනය පිලිබඳ බියට පත්වූ මක්කා නගරයේ නායකයින් මෙහි ව්‍යාප්තිය අඩපණ කිරීම පිණිස මුහම්මද් නබිගේ අනුගාමිකයින් හට දැඩි හිංසා පීඩා එල්ල කළ අතර ඇතැමුන්ව මරණයට ද පත් කළහ. මෙම අවස්ථාවන්හි අල්ලාහ් විසින් දෙන ලද උපදෙස වූයේ ඉවසීමෙන් අල්ලාහ් ගෙන් උදව් පතන්න යන්නයි.
“විශ්වාස කළවුනි, නුඹලා ඉවසීම සහ සලාතය මගින් උදව් පතවු. සැබැවින්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමගය. “ (අල්කුරාණ් 2:153)
මෙලෙස මුහම්මද් නබිතුමා විසින් මක්කාවේ දැඩි විරෝධයන් මැද්දේ ආගමික ප්‍රචාරය සිදු කරමින් සිටි අවධියේ මක්කාවට කිලෝමීටර 450ක් පමණ ඈතින් පිහිටි මදීනා නගරයේ වැසියෝ ඉස්ලාම් ආගම ගැන ආරංචි වී ඉස්ලාම් ආගම පිලිබඳ පැහැදී ඉස්ලාම් ආගම වැලඳ ගත්හ. පසුව ඔවුන් මුහම්මද් නබිතුමාව මදීනා නගරයේ රාජ්‍ය නායකයා ලෙස පත් වීමට ආරාධනා කළහ. නමුත් අල්ලාහ්ගෙන් ඔහුට ඔහුගේ වැසියන් තනිකරදමා මදීනාවට පලායන්නට ඔහුට අවසර නොලැබුණි. නමුත් මුහම්මද් නබිතුමා හට වෙනත් රාජ්‍ය නායකයින්ගෙන් ලද අන්තර්ජාතික පිලිගැනීම හේතුවෙන් දැඩි ඊර්ෂ්‍යාවට, වෛරයට සහ භීතියට පත්වූ මක්කා නගරයේ නායකයින්, මුහම්මද් නබිතුමාව මරා දැමීමට සැලසුම් කළෝය. නමුත් මුහම්මද් නබිතුමාගේ සතුරන්ට එරෙහිව අල්ලාහ් ද සැලසුම් කළේය.
“ප්‍රතික්ෂේප කළවුන් නුඹව රඳවා තබා ගැනීමට හෝ නුඹව ඝාතනය කිරීමට හෝ නුඹව පිටුවහල් කිරීමට හෝ නුඹට කුමන්ත්‍රණය කරමින් සිටි අවස්ථාව සිහිපත් කරවු. ඔවුන් කූට උපා සැලසුම් කරති. අල්ලාහ් ද සැලසුම් කරන්නේය. අල්ලාහ් සැලසුම්කරන්නන්ගෙන් අති විශිෂ්ඨතමයාය.” (අල්කුරාණ් 2:153)
ඒ අනුව අල්ලාහ් විසින් මුහම්මද් නබිතුමාව මක්කා නායකයින්ගේ කුමන්ත්රණයෙන් බේරාගෙන මදීනා නගරයේ රාජ්‍ය නායකයා බවට පත් කළේය. පසුව මක්කා නගරයේ සිට මුහම්මද් නබිතුමාගේ අනුගාමිකයින් විසින් මදීනා නගරයට ක්‍රමක්‍රමයෙන් පලා යන්නට පටන්ගත්හ. මෙම තත්ත්වය මක්කා නායකයින් විසින් දරාසිටීමට අපොහොසත් වීම නිසා මක්කාව සහ මදීනාව අතර යුදමය වාතාවරණයක් බිහිවිය. එවිට මුහම්මද් නබිතුමා විසින් මක්කාව සහ මදීනාව අතර සාමය ස්ථාපිත කිරීමේ අරමුණින් මක්කා නායකයින් සමග ගිවිසුමකට එළඹෙන ලදි. මෙම ගිවිසුමට අනුව යම් මක්කාවැසියකු ඉස්ලාම් ආගම වැලඳගෙන මදීනාවට පලා ආවිට මෙම පුද්ගලයා නැවතත් මක්කාවට පිටුවහල් කරන්නට සිදුවූ හෙයින් මුස්ලිම්වරුන්ට මෙය බොහෝ අසාධාරනවූ ගිවිසුමක් විය. නමුත් මුහම්මද් නබිතුමා විසින් සාමය ස්ථාපිත කිරීම පිණිස මෙම ගිවිසුමට එකඟවන ලදි. එනමුත් මක්කා වැසියෝ මෙම ගිවිසුමේ කොන්දේසි කඩ කළහ. අල්ලාහ් විසින් ඉහත යුද පාඨ කුරාණයේ පහළ කිරීමේ සන්දර්භය මෙයයි. මෙම සියළු සිදුවීම් විස්තර කරන මුහම්මද් නබිතුමාගේ සම්පූර්ණ ජීවිත කථාව කියවීමට මෙතැනින් ක්ලික් කරන්න
එනම් ඉස්ලාම් ආගමේ සටන් වැදීමට අවසර ලබාදී තිබෙන්නේ අවසාන විකල්පයක් ලෙස පමණි. මුහම්මද් නබිතුමාගේ ක්‍රියාකලාපයන් ඔස්සේ පිහිටුවන ලද ඉස්ලාමීය මූලධර්ම වලට අනුව, මුස්ලිම් වරුන්ට සතුරන්ගෙන් දැඩි හිංසා පීඩා සහ මරණ තර්ජන සිදුවන අවස්ථාවන්හි දී අනුගමනය කළ යුතු වත්පිලිවෙත් පිලිවෙලින් මෙසේය.
ඉස්ලාම් ධර්මයේ මූලධර්ම දෙස හොඳින් අවධානය යොමු කළවිට පෙණී යන්නේ ඉස්ලාම් ධර්මයේ මූලධර්ම හරි හැටි පිලිපැද්දේනම් එය ත්රස්තවාදයට තර්ජනයක් වන නමුත් කිසිසේත්ම ත්රස්තවාදයට රුකුලක් නොවන බවය.
ඉස්ලාම් ධර්මය කඩුවෙන් ව්‍යාප්ත කරන ලද බවට කරන ප්‍රකාශ කිසිදු පදනමකින් තොරය. මේ බව ඩි ලැසි ඔලීරි (De Lacy O’Leary) විසින් ඔහුගේ Islam at the cross roads නම් ග්‍රන්ථයේ පවසා ඇත්තේ “the legend of fanatical Muslims sweeping through the world and forcing Islam at the point of the sword upon conquered races is one of the most fantastically absurd myths that historians have ever repeated.” එහි තේරුම "ලොවපුරා ගමන් කළ උමතු වූ මුස්ලිම් බැතිමතුන් විසින් ආක්‍රමණය කරන ලද ජාතීන් මත කඩුවෙන් ඉස්ලාම් දහම බලෙන් පටවන ලද යන පුරාවෘත්තය වනාහි ඉතිහාසඥයින් විසින් නැවත නැවත පවසන ලද අතිවිශිෂ්ඨතම මිත්‍යාවන්ගෙන් එකකි" යන්නයි. මෙය මිත්‍යාවක් බවට තහවුරු කරන හොඳම උදාහරණය නම් ඉරාකය, ඉරානය, එමරාතිය, සිරියාව ඇතුළු සියළුම මැදපෙරදිග රටවල පාහේ පාරම්පරික කතෝලික ජනතාව අදටත් ජීවත් වෙති. තවද ස්පාඤය ඉන්දියාව යන රටවල් මුස්ලිම් අධිරාජ්‍යවාදීන් විසින් වර්ෂ 800කට අධික කාලයක් තිස්සේ පාලනය කළ ද නිදහස ලැබීමෙන් පසුව මේ රටවල බහුතරය වන්නේ මුස්ලිම් නොවන ජනතාවයි. නමුත් කිසිදු මුස්ලිම් යුද සේනාවක් පා නොතැබූ ඉන්දුනීසියාව සහ මැලේසියාව යන රටවල අද බහුතරය මුස්ලිම් ජනතාවයි. තවද ඉස්ලාමීය මතවාද සමග දැඩි අරගලයක යෙදෙන අමරිකාව සහ යුරෝපානු රටවල ද ශ්රීඝයෙන්ම වර්ධනය වන ආගම ඉස්ලාම් ආගම වේ. ඉස්ලාම් ධර්මය කඩුවෙන් ව්‍යාප්ත නොවූ බව තහවුරු කිරීමට මෙම සාධක බෙහෙවින් ප්‍රමානවත්ය.
මේ අනුව බලන විට ඉස්ලාම් ධර්මයේ මූලධර්ම හරි හැටි අවබෝධ කර ඒ අනුව කටයුතු කිරීමෙන් කිසිසේත්ම ත්රස්තවාදයට පෙළඹවීමක් සිදුවන්නේ නැත. එසේ නම් අද ලෝකයේ ඉස්ලාමීය ත්‍රස්තවාදය ඇති වී තිබෙන්නේ ඇයි? මේ පිළිබඳව අන්තවාදය සහ ත්‍රස්තවාදය යන මාතෘකා ඔස්සේ සාකච්ඡා කර ඇත.