වර්ෂ හාරදහසකට පමණ ඉහත උර් ප්‍රාන්ථයේ සුමේරියා නගරයේ යුප්‍රටීස් ගඟ අවට ඉබ්‍රාහීම් නමින් තරුණයෙක් විසුවේය. උර් හි වැසියන් බොහෝ කලකට පෙර එකම එක දෙවියකු පමණක් වන්දනා කළ නමුත් පසුකාලයේදී එම ආගම කෙමෙන් අමතක වී ලී, මැටි හෝ වටිනා ලෝහ වලින් සැදුම් ලත් පිළිම වන්දනය කෙරෙහි නැඹුරු වූහ. ඉබ්‍රාහීම් කුඩා කළ සිටම ඔහුගේ පියා සහ අනෙක් වැසියන් තම අතින් සාදන ලද මෙම පිළිම වලට වන්දනා කිරීමට හේතුව තේරුම් ගැනීමට අපහසු විය. මේ හේතුවෙන් ඔහු නිතරම තනිව සත්‍ය දෙවියන් කවුදැයි සිතන්නට වූවේය. එක් දිනක් ඔහුට රාත්‍රියේ බැබලෙන අලංකාර තරුවක් පෙණුනි. අතින් තනන ලද පිළිම දෙවිවරු පිලිබඳව සෑහීමට පත් නොවී සිටි ඉබ්‍රාහීම් හට මෙම අලංකාර බැබලෙන තාරකාව දෙවියන් මෙන් පෙණුනි. මෙයින් බොහෝ සෙයින් සතුටට පත් වූ ඔහු මෙය විය හැකි මගේ දෙවියන් යැයි කියාගත්තේය. ප්‍රීතියෙන් ඔහු මෙම තාරකාව දිහා බොහෝ වේලාවක් බලා සිටි අතර, පසුව එම තාරකාව නොපෙණෙන්නනට විය. මෙයින් අපේක්ෂාභංගත්වයට පත් වූ ඔහු අතුරුදහන් වන දෑ කෙරෙහි මා ඇලුම් නොකරමි යන්නෙන් කියාගත්තේය (අල් කුරාණය 6:77).
තවත් දිනෙක අහස දෙස බලා සිටි ඉබ්‍රාහීම්ට නැග එන සඳ පෙණෙන්නට විය. එහි විශාල බව සහ දීප්තිමත් බවින් කුල්මත් වූ ඔහු මෙයයි මගේ දෙවියන් යැයි සිතන්නට විය. නමුත් එය බැස ගිය විට දෙවියන් මට හරි මාර්ගය පෙන්වා නුදුන්නේ නම් මාද අනෙක් අය මෙන්ම වැරදි මාර්ගයට පිවිසෙන්නේමය යන්නෙන් කියාගත්තේය (අල් කුරාණය 6:78). පසුව හිරු උදාවත්ම ඇති වූ අලංකාර බව පෙණුනු ඔහු මාගේ දෙවියන් මෙය වෙන්නට ඇති. මෙය ඉතාමත්ම විශාලයි යන්නෙන් සිතුවේය. හිරු බැස යනවාත් සමග ඔහුට සියල්ල වැටහෙන්නට පටන් ගැනුණි. එනම් මේ ලෝකය මෙන්ම හිරු සඳු සහ තාරකා යන සියල්ල මවා පරිපාලනය කරන්නාවූ දෙවියෙකු සිටින බව ඔහුට වැටහිණ.
ඔහු ලබාගත් වැටහීම ඔහුගේ වැසියන් හටද ලබාදීමට අදිටන් කරගත් ඔහු තම පියා සහ ඔහුගේ වැසියන් සමග සංවාදයේ නියැලෙන්නට විය. නුඹලා කුමක් අදහන්නේ ද? ඔහු ප්‍රශ්න කළේය. අප පිළිම වන්දනා කරන්නෙමු. අප ඔවුන් කෙරෙහි ඉතාමත් භක්තිවන්තයින් වෙමු යන්නෙන් ඔවුන් පිළිතුරු දිය. නුඹලා හඬා වැලපෙන විට ඔවුන්ට ඇසෙන්නේ ද? ඔවුන් නුඹලාට කිසිදු ප්‍රයෝජනයක් හෝ අණතුරක් සිදුකිරීමට හැකියාවක් තිබේ ද යන්නෙන් ඔහු විමසුවේය. එයට ඔවුන් නැත. නමුත් අපගේ පියවරු මේවාට අදහන අයුරු අප දුටුවෙමු යන්නෙන් පිළිතුරු දුන්නෝය.
බලවු නුඹලා සහ නුඹලාගේ මිත්තන් අදහන දෑ දිහා. අහෝ! විශ්වයේ අධිපති හැරෙන්නට මේ සියල්ල මගේ සතුරන්ය. ඔහුය මාව මැව්වෙ, ඔහුය මට නිවැරදි මාර්ගය පෙන්වා දෙන්නෙ. ඔහුය මට ආහාර පාණ ලැබෙන්නට සලස්වනුයේ. මා හට අසනීප වූ විට ඔහුය මාව සනීප කරනුයේ. ඔහුය මාව මරණයට පත් කර දිනෙක නැවතත් නැගිට්ටුවනුයේ. විනිශ්චය දිනයේදී මා කළ පවු වලට සමාව දිය හැක්කේ ඔහුට පමණි (අල් කුරාණ් 26:70-82).
එක් දිනක් නගරයේ වැසියන් සියල්ලෝම පිටව ගිය අවස්ථාවක ඉබ්‍රාහීම් විසින් පන්සලේ එක් විශාල පිළිමයක් හැරෙන්න අනෙක් සියලු පිළිම තම දකුණු අතින් විනාශ කර දැමුවේය. මෙම පුවත දැනගන්නට ලැබූ ඔවුහු දැඩි කෝපයට පත් වී මෙම පිළිම වලට විරුද්ධව සිටි ඉබ්‍රාහීම්ව සැක කරන්නට විය. මේ හේතුවෙන් ඉබ්‍රාහීම් සියල්ලන් ඉදිරියට කැඳවාගත් ඔවුහු එම්බල ඉබ්‍රාහීම්! අපගේ දෙවිවරුන්ව මෙසේ කළේ නුඹදැයි විමසීය. ඊට පිළිතුරු දුන් ඉබ්‍රාහීම් නැත. අර ලොකු දෙවියා විසින් අනෙක් දෙවියන් කඩා දමනු දුටුවෙමි. ඔවුනට කථා කළ හැකිනම් ඔවුන්ගෙන් විමසන්නැයි පිළිතුරු දුන්නේය. එම පිළිතුර හමුවේ පිරිස තුෂ්නිම්භූත විය. මද වෙලාවකට පසුව නුඹ දැන සිටියා මොවුන්ට කථා කරන්නට බැරි විත්තිය යැයි පැවසීය. එසේ නම් නුඹලාව මවන ලද අල්ලාහ්ව අත් හැර නුඹලාගේ අත්වලින් නෙලන ලද පිළිම වලට නුඹලා වඳින්නෙහුද? නුඹලාගේ පරමාධිපති හැරුනුකොට නුඹලාට කිසිදු ප්‍රයෝජනයක්වත් නොදෙන නුඹලාට කිසිදු අණතුරක්වත් කළ නොහැකි දැයට වඳින්නෙහුදැයි ඔහු විමසුවේය (අල් කුරාණ් 37:95-96) (අල් කුරාණ් 26:66).
මින් කුපිත වූ උර් හි වැසියෝ යමෙකුට දිය හැකි උපරිම දණ්ඩනය ඉබ්‍රාහීම්ට ලබාදීමට තීරණය කළහ. මේ අනුව ඔවුහු ඔහුව ගින්නෙන් පුළුස්සා මරන්නට තීරණය කළහ. මේ අනුව තීරණය කරල ලද දිනයක උර් හි රජතුමා අතුළු සියලු වැසියන් එහි අගනගරයට ඉබ්‍රාහීම්ට ලබාදීමට නියම කළ දන්ඩනය නැරඹීමට ඒකරාශී විය. ඉබ්‍රාහීම්ව මේ අනුව දර වලින් සැදුම්ලත් සැලැස්මක් මත රඳවා දර වලට ගිනි තැබීය. ගින්න ඉතා ශ්‍රීඝ්‍රයෙන් ව්‍යාප්තවී එහි සැරට පිරිස ඈතට තල්ලු විය. එවිට අල්ලාහ් විසින් ගින්නට ඉබ්‍රාහීම් හමුවේ සිසිල් වී ඔහුට ශාන්තිමත් වන ලෙසට අණ කරනු ලැබිණ. ගින්න විසින් දර වලින් සකසන ලද එම ව්‍යුහය සම්පූර්ණයෙන්ම පුළුස්සා නිමකිරීමෙන් පසු අරුමයකි! ඉබ්‍රාහීම් තවමත් එතැනම කිසිවක් නොවූ අයුරින් ජීවතුන් අතර සිටියේය. මෙම සිද්ධිය හමුවේ ව්‍යාකූල වූ වැසියෝ තම දෑස් ඉදිරිපිට වූ මෙතරම් ප්‍රබල ප්‍රාතිහාර්යයක් හමුවේ ද සත්‍යය අවබෝධකර නොගත්තෝය.
එතැනින් නොනැවති වැසියෝ ඉබ්‍රාහීම්ව මරණ්නට නැවත නැවතත් උත්සාහ කරන්නට වූ හෙයින් දෙවියන් විසින් ඔහුව ඔවුන්ගෙන් ගලවා එම රටින් පලායන්නට අණ කළහ. මේ අනුව ඉබ්‍රාහීම් ඊජිප්තුවට නුදුරින් මධ්‍යදරනී මුහුදට ආසන්නයේ ස්ථානයක පදිංචියට ගියේය. පසුව පලස්තීනයේ පදිංචි වී වංශවත් කුලයක කාන්තාවක් වූ සාරා සමග විවාහ විය. වසර කිහිපයක් ගතවුවද ඔහුට දරු සම්පතක් නොලැබිණ. එම කාළයේ සංස්කෘතියට අනුව ඒබ්‍රහම්ට දරුවෙකු ලබාදීමේ අරමුණින් සාරා විසින් ඇගේ අත් උදවු කාරියක් වූ හාජරාව ඉබ්‍රාහීම්ට විවාහකරගැනීමට අනුමැතිය ලබා දිය. පසුව හාජරාට සහ ඉබ්‍රාහීම්ට දාව ඉස්මායිල් නමින් පුතකු බිහිවිය. බොහෝ කළකට පසුව ඉබ්‍රාහීම්ගේ පළමු බිරිය වන සාරාටද ඇය වයෝවෘද්ධ කාන්තාවක් වූ පසුව ප්‍රාතිහාර්යයක් මගින් දරුවකු ලැබිණ. එම දරුවා ඉස්හාක් නම් විය. අල්ලාහ්ගේ අණකට අනුව සාරා සහ ඔහුගේ පුත් ඉස්හාක් පලස්තීනයේ ජෙරුසලම ආශ්‍රිත ප්‍රදේශයේ පදිංචි කර හාජරා සහ ඉස්මයිල්ව මක්කාව නම් පාළු කාන්තාරයක පදිංචි කිරීමට පියවර ගත්තේය.
ඉස්මයිල් සහ හාජරා මෙම පාළු කාන්තාරයේ ජීවත් වීම පිණිස ප්‍රාතිහාර්යයක් මගින් අල්ලාහ් විසින් මෙම ප්‍රදේශයේ ජල උල්පතක් නිර්මාණය කළ අතර මෙම උල්පතට “සම් සම්” යන නම ලැබිණ. පසු කළක ඉබ්‍රාහීම් සහ ඉස්මායිල් විසින් අල්ලාහ්ගේ නියෝගයකට අනුව එම ප්‍රදේශයේ කාබාව නමින් හතරැස් හැඩයකින් යුක්ත පල්ලියක් නිර්මාණය කලෝය. අල්ලාහ් විසින් ඉබ්‍රාහීම් හට මෙම දරුවන් දෙදෙනා මාර්ගයෙන් මහා ජාතීන් දෙකක් බිහි කරන බවට පොරොන්දු විය. මේ අනුව සාරාගේ පුත් ඉස්හාක්ට දාව මූසා හෙවත් මෝසස්, දාවුද් හෙවත් ඩේවිඩ්, සුලෛමාන් හෙවත් සොලමන්, ඊසා හෙවත් යේසුස් ඇතුළු තවත් බොහෝ වකතෘන් බිහි වූ අතර හාජරාගේ පුත් ඉස්මායිල්ට දාව අවසාන වක්තෘ මුහම්මද් බිහි විය.