එවක කාබාවෙහි පෞරාණික බිත්ති බොහෝ සෙයින් කැඩී බිඳී ගොස් තිබූ අතර එහි වහලක් ද නොතිබිණි. මේ නිසා ඒ තුළ තැන්පත් කළ ඇතැම් වටිනා වස්තු එහි දොර වසා තිබුණද සොරකම් කිරීමට පහසු විය. මේ හේතුවෙන් එම කාළයේ කාබාව ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය පැන නැගුනි. මේ සඳහා එවක මක්කාවේ විසූ සියලු වාංශිකයින්ට අයත් පිරිස් වෙත මෙම පූජනීය කාර්යය සඳහා රාජකාරී නියම විය. මේ අනුව ඔවුන් කාබාවේ පැරණි බිත්ති සියල්ල කඩා දැමූ අතර ඉබ්‍රාහීම් සහ ඉස්මයිල් විසින් ගොඩනගන ලද අත්තිවාරම පමණක් ඉතුරු කර නව බිත්ති සෑදීමේ කර්තව්‍යය ආරම්භ කරන ලදි. කාබාව යම් උසකට ගොඩනැගීමෙන් පසුව කාබාවේ කොටසක් වූ ස්වර්ගයෙන් පහළ කරන ලද යැයි විශ්වාස කරන පූජනීය කළු පාෂාණය එහි එක් මුල්ලක තැන්පත් කරන්නට තීරණය විය. මෙම කාර්‍යයට එහි සියලුම වංශ සාමාජිකයින්ම සහභාගීවීමට අවශ්‍ය වූ හෙයින් කුමන වංශයෙන් මෙම කාර්‍යය සිදුකරන්නේද යන්න පිළිබඳව දැඩි ප්‍රචණ්ඩකාරී මතභේද ඇති විය. මෙම මතභේද දින හතරක් මුළුල්ලේ ඇදී ගිය අතර අවසානයේ මේ නිසා යුදමය වාතාවරණයක් ඇති විය. මේ හේතුවෙන් එහි විසූ වයසක පුද්ගලයකු ඊට විසඳුමක් දුන්නේය. එනම් මෙම දින මෙම පල්ලියට පැමිණෙන පළමු පුද්ගලයා මෙම ප්‍රශ්නය විසඳීමට බේරුම්කරුවකු ලෙස තෝරාගැනීමට එකඟ වෙමු යන්නෙන් ඔහු පැවසුවේය. එම කාළයේ කාබාව වටකළ මායිම පල්ලිය ලෙස හැඳින්විය. ඔවුන් සියලු දෙනාම මෙම විසඳුමට එකඟ විය.
මේ අවස්ථාවේ පළමුවෙන්ම පල්ලියට ඇතුළුවූ පුද්ගලයා මුහම්මද් තුමා විය. මෙය දුටු සියලු වංශ වල නායකයින් ඉතාමත්ම සතුටට පත් වූහ. මේ සිටින්නේ කාර්යයට ඉතාමත්ම සුදුසු පුද්ගලයා නොවේ ද යන්නෙන් හඬ නගා ප්‍රකාශ කළෝය. පසුව මොවුන් මුහම්මද් තුමා වෙත ගොස් සිදුවූ සියල්ල විස්තර කරන ලදි. සියල්ලට සවන් දුන් මුහම්මද් තුමා මට කබායක් රැගෙන එන්න යන්නෙන් පැවසුවේය. රැගෙන ආ කබාය බිම වතුරුවා ඔහු පූජනීය කළු පාෂාණය අතින් රැගෙන එම කබාය මත තැබුවේය. දැන් සියලු වංශ නායකයින් මෙම කබායේ කෙළවරයන් අල්ලා මෙම පාෂාණය ඔසවා කාබාවෙහි එය තැන්පත් කළ යුතු ස්ථානය වෙත රැගෙන යන්න යන්නෙන් පැවසුවේය. මීට එකඟ වූ සියලු දෙනා උපදෙස් පරිදි කබාය එහි කෙළවරයන්ගෙන් අල්ලා පාෂාණය රැගෙන කාබාව දෙසට ගියෝය. පාෂාණය කාබාව සමීපයට ආ විට මුහම්මද් තුමා විසින් පාෂාණය අතින් අල්ලා කාබාවේ නියමිත ස්ථානයේ තැබුවේය. ඉන්පසුව කාබාව ගොඩනැගීමේ කටයුත්ත ඔවුන් විසින් නියමිත පරිදි සම්පූර්ණ කළෝය.