ඉස්මයිල්ගේ පරම්පරාව ශ්‍රීඝ්‍ර ලෙස වර්ධනය වීමත් සමග ඔහුගෙන් පැවතෙන්නන් විවිධ වංශ බවට පත් විය. මේවායින් එක් වංශයකි කුරෙයිෂි. මොවුන්ගේ විශේෂත්වයනම් මොවුන් සෑම විටම ඉස්මායිල් සහ ඔහුගේ පියා වන ඉබ්‍රාහීම් විසින් ගොඩනගන ලද කාබාව නම් හතරැස් පල්ලිය සමීපයෙන්ම පදිංචිව සිටීමයි. මේ නිසා මෙම කුරෙයිෂි වංශයේ නායකයින්ගේ එක් ප්‍රධාන වගකීමක් වූයේ එවක සිට කාබාවේ වැඳුම් පිදුමි කිරීමට පැමිණි වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීමයි. එම කාළයේ සිට අරාබියාවේ නොයෙක් දෙසින් මක්කාවට පැමිණි වන්දනාකරුවන්ට ආහාර පාන සැපයීම ගෞරවනීය තනතුරක් ලෙස ඔවුන් සැලකූහ.
මුලදී අල්ලාහ්ව පමණක් නමදිමින් සිටි මෙම ඉස්මායිල්ගේ පරපුර කල්යත්ම වෙනත් ජාතීන්ගේ සංස්කෘතීන් සහ ආභාෂයන් වලට මුසුවී අල්ලාහ්ට අමතරව වෙනත් පිළිම වලට වන්දනාමාන කරන්නට පුරුදු වූහ. පසුව මෙම සමාජයේ පිළිගැනීමට ලක්වූ පිළිම කාබාවේ තැන්පත් කළහ. කල්යත්ම තව පිළිම කාබාවට ප්‍රවිශ්ඨ වීමත් සමග කාබාවේ පිළිම වන්දනාව අතිශයින්ම ප්‍රචලිත විය. මේ හේතුවෙන් අල්ලාහ් පිලිබඳව ඔවුනට අමතක වන්නට විය. මෙම කාල වකවානුවේ සම් සම් නම් ජල උල්පත අතුරුදහන් වී එය තිබූ ස්ථානය පවා මිනිසුන්ට අමතක විය. මේ වන විට කුරෙයිෂි වංශයට අයත් කුසෛ නම් පුද්ගලයා මක්කාවේ නායක තනතුරට පත්විය. ඔහුට කාබාවේ යතුර හිමි වූ අතර එහි පැමිණෙන වන්දනාකරුවන්ට ආහාර පාන සැපයීමේ කර්තව්‍යයද හිමි විය.
ඔහුගෙන් පසුව ඔහුගේ පුත් අබු මනාෆ් විසින් එම පදවිය හෙබවූ අතර පසුව ඔහුගේ පුත් හාෂිම් විසින් එම පදවිය හෙබවීය. හාෂීම්ගේ නායකත්වය යටතේ මක්කමේ සිට සිරියාව සහ යෙමනය බලා වාර්ෂිකව විශාල තවලම් දෙකක් වෙළෙඳාම සඳහා දියත් කෙරුණි. මෙ මගින් මක්කාව බෙහෙවින් ප්‍රසිද්ධියට පත්වී ධනවත් විය.
හාෂිම් විසින් මක්කාවට කිලෝමීටර හාරසිය පනහක් පමණ ඈත පිහිටි යත්‍රිබ් නුවර විසූ අම්ර් ඉබ්නූ සෛද් නම් පුද්ගලයාගේ දුව වන සල්මා විවාහ කරගත්තේය. ඔවුනට දාව පුතකු උපන් අතර ඔහුගේ නම ශයිබාහ් හෙවත් අළු කෙස් නම් විය.
ශෙයිබාහ් ඔහුගේ මව සමග යත්‍රිබ් නුවර ජීවත් විය. හාෂිම් ගේ මරණයෙන් පසුව ඔහුගේ සොයුරු මුත්තලිබ් විසින් මක්කාවේ නායකත්වය ඉසිලිය. මුත්තලීබ්ගෙන් පසුව මක්කාවේ නායකත්වයට ශෙයිබාව පත්කිරීමේ අරමුණින් මුත්තලීබ් විසින් ශෙයිබාව යත්‍රීබ් නුවර සිට මක්කාවට රැගෙන ආවේය. මුත්තලිබ් සමග පැමිණි ශෙයිබා දුටු මක්කා වැසියෝ මොහු මුත්තලීබ් ගේ වහලකු යැයි සිතා ඔහුට අබ්දල් මුත්තලීබ් හෙවත් මුත්තලීබ්ගේ වහලා යන නම තැබීය. පසුව මොහු හාෂීම්ගේ පුත් යැයි දැනගත්තද ඔහුට අබ්දල් මුත්තලීබ් යන්නෙන් ආදරයෙන් ආමන්ත්‍රනය කළහ. මුත්තලීබ්ගේ මරණයෙන් පසුව අබ්දල් මුත්තලීබ් විසින් මක්කාවේ නායකත්වය හෙබවුවේය.
දිනක් අබ්දල් මුත්තලීබ් සම් සම් උල්පත පිළිබඳ සිහිනයක් දුටුවේය. එම සිහිනයට අනුව ඔහු සම් සම් උල්පත සොයාගෙන ඔහුගේ එකම පුතු සමග එය හාරන්නට විය. මේ අවස්ථාවේදී ඔහු අල්ලාහ් කෙරෙහි භාරයක් විය. ඒ කවරක්ද නම් යම් දිනෙක ඔහුට දාව දරුවන් දස දෙනෙකු ඉපදුනේ ද, ඔවුන්ගෙන් එක් දරුවකු අල්ලාහ්ට පූජා කරන බවටය. කල් යත්ම ඔහුට දාව දරුවන් දස දෙනෙකු ඉපදුණි. දිනක් ඔහු අල්ලාහ්ට වුණු භාරය මතක් විය. මේ පිළිබඳව ඔහු එම නගරයේ දැනුමැති පුද්ගලයින්ට පවසා අදහස් විමසුවේය. ඔවුන් සියලු දෙනා අල්ලාහ්ට වුණු භාරයක් ඉටුකරලීම අනිවාර්‍ය කරුණක් යැයි පිළිගත් අතර කුමන දරුවාව පූජා කරන්නේදැයි තීරණය කිරීමට එම කාලයේ එහි තිබූ සංස්කෘත්‍රියට අනුව සීට්ටු දමා තීරණය කරන්නට තීරණය විය. මේ අනුව ඔවුන් ඊතල් දහයක් ගෙන එක් එක් ඊතලයේ එක් එක් දරුවන්ගේ නම් ලියන ලදි. පසුව මෙම ඊතල් දහය කාබාව තුළ විසිකර මෙම කර්තව්‍යය භාර පුද්ගලයා විසින් එක් ඊතලයක් ලබාගත්තේය. මෙම ඊතලයේ අබ්දල්ලාහ් නම් ඔහුගේ ලාබාලතම සහ ආදරණියතම දරුවාගේ නම විය.
දැඩි කණස්සල්ලකින් වුවද අබ්දල් මුත්තලීබ් විසින් ඔහුගේ ආදරණීය පුත් අබ්දල්ලාහ් ව අල්ලාහ්ට කාබාව ඉදිරිපිට පූජාකිරීමට ලැහැස්ති විය. නමුත් එම ක්‍රියාව එහි වැසියන්ගේ දැඩි විරෝධයට ලක්විය. මේ නිසා මේ සම්බන්ධයෙන් යත්‍රීබ් නුවර විසූ දැනුවත් මහළු කාන්තාවකගේ උපදෙස් ලබාගැනීමට සියල්ලන් එකඟ විය. මීට ඉදිරිපත්වූ එම කාන්තාව මනුෂ්‍යයකුගේ වටිනාකම කුමක්දැයි එහි සිටි පිරිසගෙන් විමසුවාය. එවක මක්කාවේ පැවති නීතියට අනුව යමකු තවත් පුද්ගලයකු ඝාතනය කළවිට ඔටුවන් දස දෙනෙකු වන්දි වශයෙන් ඝාතනය වූ පවුලේ සාමාජිකයින්ට ලබා දිය යුතු විය. මේ නිසා එම වැසියෝ ඔටුවන් දස දෙනෙකු යැයි පිළිතුරු දිය. එම මහළු කාන්තාව එසේ නම් අබ්දල්ලාහ් සහ ඔටුවන් දස දෙනාද යන්න තීරණය කිරීමට සීට්ටු අදින්නට උපදෙස් දුන්නාය. මේ අනුව එක් ඊතලයක අබ්දල්ලාහ්ගේ නමද අනෙක් ඊතලයේ ඔටුවන් දස දෙනෙකු යැයිද ලියා කාබාව තුළට විසි කර සීට්ටු අදින ලදි. නැවතත් අබ්දල්ලාහ්ගේ නම මතු විය. දැන් ඔටුවන් විසිදෙනෙකු සමග අබ්දල්ලාහ්ව බේරාගැනීමට සීට්ටු අදින ලෙස ඇය උපදෙස් දුන්නාය. නැවතත් අබ්දල්ලාහ්ගේ නම මතු විය. මෙලෙස ඔටුවන් දස දෙනා බැගින් වන්දිය වැඩි කරමින් සීට්ටු ඇදීම සිදු විය. අවසානයේ ඔටුවන් සිය දෙනෙකු පූජාකිරීමට ඉදිරිපත්වීමත් සමග ඔවුන් අබ්දල්ලාහ් බේරාගැනීමට සමත් විය. මෙය අල්ලාහ්ගේ තීරණයදැයි නිශ්චය කිරීම පිණිස අබ්දල්ලාහ් සහ ඔටුවන් සියදෙනා තුන්වරක් සීට්ටු දමන්නට අබ්දල් මුත්තලීබ් තීරණය කළේය. තුන්වරම ඔටුවන් සිය දෙනා මතු වූ හෙයින් එම ඔටුවන් සිය දෙනා පූජා කර මක්කා වැසියන් අතරේ උන්ගේ මාංශ බෙදා දුනේනෝය.
අබ්දල්ලාහ් තරුණවියට පත්වී ආමිනාහ් නම් කාන්තාවක් විවාහ කර ගත් අතර ඔවුනට දාව පුතකු උපන්නේය. නමුත් ටික කළකට පසුව අබ්දල්ලාහ් යත්‍රීබ් නුවරදී අසනීපවී අපවත් විය. නමුත් මොවුන් දෙදෙනාට දාව උපන් ඔවුන්ගේ පුත් මුහම්මද් ලෝකයේ බලවත් වක්තෘවරයකු වන බව මොවුන් දැන සිටියේ නැත.