එවක මක්කා නගරයේ විසූ පොහොසත් කාන්තාවකි කතීජා. අසාද් වංශයේ කුවෛලිද්ගේ දුව වූ ඇය වරකා බින් නවුෆල් නම් වූ කිතුණු දහම වැළඳගත් විද්වතකු සහ කුවෛලත් නම් ඔහුගේ සොයුරියගේ ඥාති සොයුරියයි. ඇය දෙවරක් විවාහ වී සිටි අතර ඇගේ දෙවන සැමියා ද අපවත්විය. මේ නිසා ඇය පුද්ගලයින්ට පඩි ගෙවා තම වෙළෙඳාම කරගෙන යන්නට පුරුදුවී සිටියාය. මුහම්මද් තුමාට වයස විසිපහක් පමණ වන විට ඔහුගේ අවංකබව සහ විශ්වාසවන්තභාවය හේතුවෙන් වෙළෙඳාමෙහි බෙහෙවින් ප්‍රසිද්ධ විය. මේ නිසා ඔහුට අල් අමීන් හෙවත් විශ්වාසවන්තයා ලෙස නම පටබැඳුණි. මේ හේතුවෙන් කතීජා තම වෙළෙඳාම සඳහා මුහම්මද්ව සේවයට බඳවා ගත්තාය.
දිනක් මුහම්මද් කතීජාගේ අනෙක් සේවකයා වන මයිසරා සමග වෙළෙඳාම පිණිස පිටව ගිය අවස්ථාවේ සිරියාවට දකුණු දෙසින් පිහිටි බස්‍රාවේ ගසක් අසල විවේක ගත්තේය. අසල පිහිටි ආශ්‍රමයකින් (කලින් සඳහන් කළ ආශ්‍රමයම විය හැක) පිටතට පැමිණි නෙස්තෝර් නම් පැවිද්දකු මයිසරා දෙස බලා අර ගස යට සිටින්නේ කවුදැයි විමසුවේය. ඊට පිළිතුරු දුන් මයිසරා ඔහු මක්කාවේ කුරෙයිෂි ගෝත්‍රයේ පුද්ගලයකු යැයි පැවසුවේය. මෙම ආශ්‍රමයේ භාරකරු වශයෙන් පවසන්නෙමි. අර ගස යට සිටින්නේ වකතෘ වරයකු මිස වෙන කවුරුත් නොවෙයි යනුවෙන් නෙස්තොර් පැවසුවේය.
වෙළෙඳාමෙන් පසු කතීජා වෙත ගිය ඔහු වෙළෙඳාම සම්බන්ධ සියලු විස්තර සවිස්තරාත්මක ලෙස විස්තර කළේය. වෙළෙඳාම කෙරෙහි මුහම්මද් තුමාගේ දක්ෂතාවය සහ වෙළෙඳාමෙන් ලද අධික ලාභයට වඩා විසිපස් හැවිරිදි කඩවසම් මුහම්මද් තුමා ගේ හැසිරීම සහ ඔහුගේ චරිතය පිළිබඳව ඇය බෙහෙවින් කුල්මත් විය. කතීජා අලංකාර කාන්තාවක් වූ නමුත් ඇය මුහම්මද් තුමාට වඩා අවුරුදූ පහළොවකින් වැඩිමහල්ය. මේ නිසා ඔහු ඇයට කැමති වෙයිද? යන්නෙන් ඔහු සිතන්නට විය.
කතීජා ඇගේ යෙහෙළියක් වූ නුෆයිසා වෙත මේ සම්බන්ධයෙන් කථා කළාය. මා මේ ගැන බලාගන්නම් යැයි පෑවසූ නුෆයිසා මුහම්මද් තුමා වෙත ගොස් නුඹ ඇයි තවමත් විවාහ නොවන්නේ යන්නෙන් ප්‍රශ්න කළාය. මා සතුව විවාහයකට සුදුසු වීමට තරම් වත්කම් නොමැත යන්නෙන් ඔහු පිළිතුරු දුන්නේය. නමුත් නුඹට අලංකාර කාන්තාවක් සමග සෑහෙන්න වත්කම් සහ වැදගත්කමක් ලැබුණේ නම් නුඹ අකමැතිවන්නේදැයි ඇසුවාය. කවුද ඇය යන්නෙන් ඔහු ප්‍රශ්න කළේය. කතීජා යනුවෙන් ඇය පිළිතුරු දුන්නාය. එවන් විවාහයක් මට ලැබෙන්නේ කෙසේදැයි ඔහු ඇසුවේය. ඒක මම බලාගන්නම්. නුඹ කැමති ද යන්න පමණක් පවසවු යන්නෙන් ඇය ප්‍රශ්නකළාය. මම කැමතියි යනුවෙන් මුහම්මද් පිළිතුරු දුන්නේය. පසුව ඔවුන් මුනගැසුනු විට කතීජා ඇගේ ආදරය මුහම්මද් වෙත ප්‍රකාශ කළාය. මේ අනුව මුහම්මද් සහ කතීජා විවාහ විය.
ඔවුනට දාව පළමුව කාසිම් නමින් පිරිමි දරුවකු ඉපදුණි. නමුත් එම දරුවාට වයස අවුරුද්දක්ව පැවතියදී ඔහු අපවත් විය. දෙවන දරුවා සෙයිනබ් නමින් දැරියකි. පසුව ඔහුට තවත් දැරියන් තුන් දෙනෙකු ඉපදුණි. ඔවුන් රුකයියා, උම් කුල්දුම් සහ ෆාතිමා නම් විය. අවසානයේ ඔවුනට තවත් පිරිමි දරුවකු ඉපදුණු නමුත් ඔහු ටික දිනකින් අපවත් විය. මීට අමතරව කතීජාගෙන් ඔහුට උරුම වූ සෙයිද් නමින් වහල් දරුවෙක් විය. මුහම්මද් තුමා ඔහුව තම දරුවකු මෙන් හදා වඩා ගත්තේය.
දිනක් සෙයිද්ගේ පියා යැයි කියාගත් හාරිදා නම් පුද්ගලයකු මුහම්මද් තුමා වෙත පැමිණ ඔහුගේ පුතාව නිදහස් කරන මෙන් ඉල්ලා සිටියේය. ඊට වන්දියක් ලෙස ඉල්ලන ඕනෑම මුදලක් ගෙවීමට ඔහු එකඟ විය. මීට පිළිතුරු දුන් මුහම්මද් තුමා දරුවා කැමති නම් කිසිදු වන්දියක් නොමැතිව ඔහුව රැගෙන යන්නට අවසරයි. නමුත් ඔහු අකමැතිනම් මාත් සමග සිටින්නට කැමති කෙනෙකුව යවන්නට මා ඉඩ දෙන්නෙ නැත යන්නෙන් පැවසුවේය. එසේ පැවසූ මුහම්මද් තුමා සෙයිද්ව අඬගසා මේ කවුදැයි ප්‍රශ්න කළේය. මගේ පියා යන්නෙන් ඔහු පිළිතුරු දුන්නේය. ඔබ කාවද තෝරාගන්නෙ? ඊට පිළිතුරු දුන් සෙයිද් ඔබට ඉහලින් මා කාවත් තෝරාගන්නේ නැත. ඔබ මට මෑණියන් සහ පියාණන්ද වේ යන්නෙන් ඔහු පැවසුවේය. මෙයින් පුදුමයට පත්වූ හාරිදා එම්බල සෙයිද්, නුඹේ මව, පියා, නුඹේ පවුල සහ නුඹේ නිදහසටත් වඩා නුඹ වහල්කම තෝරාගන්නෙහිද? යන්නෙන් ප්‍රශ්න කළේය. ඊට සෙයිද් ඔව්. වෙන කිසිදු පුද්ගලයකුගෙන් අපේක්ෂා කළ නොහැකි දෑ මා මෙම පුද්ගලයා සතුව දැක ඇත්තෙමියි පැවසුවේය.