හලීමාහ් සමග

එම කාලයේ මක්කා නගරයේ සංස්කෘත්‍රියට අනුව වැදගත් නාගරික පවුල් වල දරුවන් කුඩා කාලයේම ඇති දැඩි කිරීම සඳහා කාන්තාරයේ පවුලකට යවනු ලැබූහ. මීට හේතුව කාන්තාර වල ජීවත් වීම කුඩා ළමුන්ට අරෝග්‍යමත් සේම ඔවුන් භාවිතා කරන ශුද්ධ අරාබි භාෂාවේ ආභාෂය මෙම ළමුන්ට ලැබීමට සැලැස්වීමයි. මේ සඳහා එම පවුලට හොඳ වැටුපක් ගෙවනු ලැබීය. මේ සඳහා කාන්තාර වල ජීවත් වූ පවුල් කළින් කළට නාගරික දරුවන් රැගෙන ගොස් ඇති දැඩි කිරීම පිණිස මක්කා නගරයට පැමිණියෝය.

ආමිනාගේ දරුවා උපන් කාළයේ කාන්තාරවාසි කාන්තාවක් වූ හලීමා ඇගේ ස්වාමියා සහ දරුවා කැටුව ඇති දැඩි කිරීම පිණිස දරුවකු ලබාගැනීමට මක්කාව බලා පිටත් වූවාය. ඔවුන් බොහෝ දුප්පත් පවුලක් වූ අතර මෙම වර්ෂයේ නියඟය හේතුවෙන් ඔවුන්ගේ මූල්‍ය තත්ත්වය බරපතල ලෙස පිරිහී තිබුණි. මෙම තත්ත්වයෙන් බොහෝ කණස්සල්ලට පත් හලීමා ඇගේ දරුවාටද දීමට කිරි නොඑරෙන මෙම තත්ත්වයේ තවත් දරුවකුට කෙසේ කිරි දිය හැකිදැයි සිතමින් කරදර වී සිටියාය.

එම අවස්ථාවේ මක්කාව බලා පිටත්වූ බනී සාද් වංශයට අයත් සියලුම කාන්තාරවාසී කාන්තාවන්ට ඇති දැඩි කිරීම පිණිස දරුවන් ලැබිණි. නමුත් බැල්මට එතරම් ආරෝග්‍යමත් ලෙස නොපෙණුනු හලීමාට පමණක් කිසිදු දරුවකු නොලැබිණි. අවසානයේ ඉතුරු වී සිටියේ පියා නොමැති වූ හෙයින් අනෙක් සියලු කාන්තාරවාසීන් ප්‍රතික්ෂේප කළ මුහම්මද් පමණි. මේ හේතුවෙන් අවසානයේ මුහම්මද්ව රැගෙන යාමට හලීසා තීරණය කළාය. මුහම්මද්ට කිරි දෙන විට පුදුම ලෙස ඇයට වැඩි වැඩියෙන් කිරි එරෙන්නට විය. ඔවුන් නැවත කාන්තාරයට ගිය පසු සියලු දේ වෙනස් වන්නට විය. ඔවුන්ගේ අස්වනු සාරවත් විය. බැටළුවන් වැඩි වැඩියෙන් කිරි දෙන්නට විය. මේ සියල්ලටම හේතුව මුහම්මද් බව ඔවුනට වැටහෙන්නට විය.

මුහම්මද්ට වයස අවුරුදු දෙකක් වූ විට, එකඟ වූ පරිදි හලීමා ඔහුව ඔහුගේ මව ආමිනා වෙත ගෙන ගියාය. ඇය ආමිනාගෙන් මුහම්මද්ව නැවතත් තව ටික කාලයකට තාබාගැනීමට අනුමැතිය ඉල්ලා ආයාචනා කළාය. මීට ආමිනාහ් අවසර දිය.

වරක් මුහම්මද් ඔහුගේ සොයුරා සමග කාන්තාරයේ බැටළුවන් බලාගනිමින් සිටින අතරේ ඔහුගේ සොයුරා දුවගෙන හලීමා වෙත ගොස් දැඩි ලෙස භීතියට පත් වී අම්මේ !අම්මේ! සුදු ඇඳගත් මිනිසුන් දෙදෙනෙකු මුහම්මද්ව බිම තබා ඔහුගේ පපුව පැලුවා යන්නෙන් පවසුවේය. මෙය ඇසූ සැනින් හලීමා ඇගේ ස්වාමියා සමග සිද්ධිය සිදු වූ ස්ථානයට දුවගෙන ගියෝය. මුහම්මද් දැඩි ලෙස භීතියට පත්වී සිටගෙන සිටියේය. පුතේ! නුඹ ඇයි බියෙන් යනුවෙන් ඇය ප්‍රශ්න කළාය. සුදු ඇඳගත් දෙදෙනෙකු ඇවිත් මාව බිම වතුරවා මාගේ පපුව පලා කුමක්දෝ සෙව්වා යනුවෙන් ඔහු පිළිතුරු දුන්නේය.මෙම පිළිතුරෙන් ඇඟ හිරි වැටී ඒ මේ අත බැලූ හලීමා සහ ඇගේ ස්වාමියාට කිසිවක් දක්නට නොලැබුණි. කිසිදු ලේ බිඳුවක් හෝ තුවාලයක් හෝ ඔහුගේ පපු පෙදෙසේ දක්නට නොතිබුණි.

මෙම සිදුවීමෙන් දැඩි ලෙස බිය වූ හලීමා සහ ඇගේ ස්වාමියා හාරිත් මුහම්මද්ට කිසියම් යක්ෂයින් අවේශවූවාදැයි යන බියෙන් වහාම ඔහුව ඔහුගේ මව වෙත භාර දීමට තීරණය කළෝය. නමුත් මේ සිදුවීම පිළිබඳව ඇයට කිසිවක් නොකීමට ඔවුන් ඉටාගත්ත ද ඔවුන්ගේ මෙම හදිසි තීරණයෙන් ආමිනාගේ කුතුහළය මගහරින්නට නොහැකි වූ හෙයින් සම්පූර්ණ සිදුවීම වමාරන්නට ඔවුන්ට සිදුවිය. මේ පිළිබඳ එතරම් පුදුම නොවූ ආමිනා මාගේ කුඩා පුතුට ඉදිරියේ අති ප්‍රභල අනාගතයක් තිබෙන බව ඇය කීවාය. මුහම්මද්ව සමීපයේ තබාගැනීමට තීරණය කළ ආමිනා ඇය මේ සම්බන්ධයෙන් දුටු සිහිනයන් ඔවුනට අනාවරණය කළාය.

මුහම්මද්ට වයස අවුරුදු හයක්ව පැවතියදී ඔහුගේ නෑ හිතමිතුරන් බැලීමට යත්‍රිබ් නුවරට ගිය අවස්ථාවකදී යත්‍රිබ් නුවරට නුදුරින් පිහිටි අබ්වා නම් ග්‍රාමයේ ආමිනා අසනීප වී අපවත් විය. පසුව මුහම්මද්ගේ සීයා වන අබ්දල් මුත්තලීබ් විසින් ඔහුව බලාගත්තේය. අබ්දල් මුත්තලීබ් වයසට යත්ම මුහම්මද්ව ඔහුගේ පියාගේ සොහොයුරා වන අබූතාලිබ් වෙත භාරදුන්නේය. අබූතාලිබ් ඔහුගේ සොයුරන් මෙන් පොහොසතෙක් නොවීය. මේ නිසා මුහම්මද් තුමාට කුඩා කළම රැකියාවකට යන්නට සිදුවිය. මේ හේතුවෙන් ඔහු කළක් එ‌‌‌ඬේරෙකු ලෙස සේවය කරන්නට විය. පසුව ඔහුට වයස දොළහක්ව තිබියදී ඔහු අත් උදව්කරුවකු ලෙස තවලමකින් වෙළෙඳාම පිණිස සිරියාව බලා පිටත්විය. මෙම තවලම සාමාන්‍ය පරිදි බස්‍රාවේ නැවතුම්පොළ වෙත ලඟා විය. එම නැවතුම්පොළ ආසන්නයේ සියවස් ගණනක් පැරණි කුඩා ආශ්‍රමයකි. එම ආශ්‍රමයේ විසූ බාහිරා නම් පැවිද්දකු එම ආශ්‍රමයේ පෞරාණික ලියවිලි භාරව සිටියේය. මොහු විසින් සාමාන්‍ය පරිදි පැමිණෙමින් තිබූ මක්කා තවලම මෙදින දුටුවිට විමතියට පත්විය. මන්ද යත් මෙම තවලම යන යන තැන වලාවකින් ආවරණය වී සෙවණ ලැබිණි. තවලම නතර වූ විගස වලාවද එතැනම නතර විය. මෙහි අරුත සතවර්ෂ ගණනක් පුණ පුණා බලා සිටි එම අවසාන වක්තෘ දැන් පැමිණි බවද?

හනි හනිකට ආහාර පිලියෙළ කොටගත් බාහිරා තවලමේ සිටි සැමෝවම ඔහුගේ ආශ්‍රමයට ආරාධනා කළේය. එම ආරාධනය පිළිගත් තවලමේ පැමිණි මක්කා වැසියන් එකිනෙකා දෙස හොඳින් නිරීක්ෂණය කළ බාහිරා ඔහුගේ පුරාණ ලියකියවිලි වල පැවසූ අවසාන වක්තෘගේ ලක්ෂණ වලට ගැලපෙන කිසි කෙනෙකු නොදුටුවේය. එවිට බාහිරා නුඹේ තවලමේ සිටි සියලු දෙනා මෙහි පැමිණියේදැයි ප්‍රශ්න කළේය. එයට පිළිතුරු දුන් ඔවුහු ඔව්. ඔටුවන් රැකගනිමින් සිටින කුඩා දරුවා හැරෙන්න අනෙක් සියලු දෙනා මෙහි පැමිණියෙමුයි පැවසූහ. ඔවුන් කළ වරද වටහාගත් ඔවුන් හනිකට ඔටුවන් රැකබලා සිටි අබ්දල්ලාහ්ගේ පුත් මුහම්මද්ද කැඳවා පැමිණියෝය. මුහම්මද්ගේ මුහුණ සහ හැසිරීම නිරීක්ෂණය කළ බාහිරා සාදයෙන් පසු මුහම්මද් දෙසට ගොස් ඔහුගේ ජීවිතය, නිදාගන්නා අයුරු සහ එදිනෙදා ක්‍රියාකාරකම් පිළිබඳව විමසුවේය. මුහම්මද් මෙම ආචාරශීලී පුද්ගලයා ඇසූ සෑම පැණයකටම සතුටින් පිළිතුරු දුන්නේය. අවසානයේ ඔහු මුහම්මද්ගේ කබාය ගලවා දෙන ලෙස ඉල්ලා සිටියේය. මුහම්මද් ද කිසිදු පැකිලීමකින් තොරව කබාය ගලවා දුන්නේය. එවිට බාහිරා විසින් මුහම්මද්ගේ පිටෙහි වූ සලකුණක් දිහා අවධානය යොමු කළේය. දැනටමත් ඔහුගේ අනුමානය ඔහුට තහවුරුවී තිබුණ ද මෙම වක්තෘවරුන්ට පමණක් පොදු වූ සලකුණ දුටුවායින් පසුව ඔහුගේ අනුමානය ප්‍රත්‍යක්ෂ විය. අබූතාලිබ් දෙසට හැරුනු බාහිරා මේ ඔබේ කවුදැයි ප්‍රශ්න කළේය. මේ මගේ පුතා යැයි අබූතාලිබ් පිළිතුරු දුන්නේය. ඊට බාහිරා මේ ඔබේ පුතා විය නොහැක. මොහුගේ පියා ජීවතුන් අතර සිටින්නට හැකියාවක් නැත යන්නෙන් පැවසුවේය. ඊට අබුතාලිබ් ඔව්. මේ මගේ සහෝදරයාගේ පුතා යැයි පැවසුවේය. ඔහුගේ පියා කොහේදැයි බාහිරා ඇසුවේය. මොහු ඉපදෙන්නටත් කළින් ඔහු අපවත් වූ බව තව කෙනෙකු පැවසුවේය. ඊට බාහිරා මෙයයි සත්‍යය. මොහුව ඔබේ නගරයට ගෙන ගොස් යුදෙව්වන්ගෙන් ආරක්ෂා කරන්න. මොහු කවුදැයි කියා මම දන්නා දේ ඔවුන් දැනගත්තොත් ඔහුව මරණ්නට පෙළඹේවි. නුඹේ සොහොයුරාගේ පුතා සතුව විශ්ෂ්ඨ ආනාගතයක් ඇත යනුවෙන් පැවසුවේය.

කවරය |පටුන |පෙර පිටුව | ඊළඟ පිටුව

1 2 3 4 5 6 7 8 9 10