වර්තමානයේ ශ්‍රීලංකාවේ මෙන්ව ලෝකයේද ඉස්ලාම් භීතිය ශ්රීඝ්ර ලෙස වර්ධනය වෙමින් තිබේ. මෙම ඉස්ලාම් භීතියේ වර්ධනයත් සමග කරලියට පැමිණ ඇති මාතෘකා කිහිපයකි මූලධර්ම වාදය, අන්තවාදය, වහාබ් වාදය සහ ත්‍රස්තවාදය. මෙම මාතෘකා විටින් විට නිතර අසන්නට ලැබුණද, මේවායෙහි තේරුම් බොහෝ දෙනෙකුට හරි හැටි තේරුමක් නැත. ස්වාභාවිකවම මනුෂ්‍යයා නොදන්නා දේ කෙරෙහි බිය නිසා, මෙම වචන ඇසූ සැනින් ඉස්ලාම් භීතිය වැඩි වනු ඇත. මේ නිසා මෙම වචන කිහිපය විග්රහ කර විචාරය කිරීම අත්‍යාවශ්‍ය කරුණකි.
වහාබ්වාදයේ ආරම්භකයා වර්ෂ 1703 සිට 1792 යන කාලවකවානුවේ ජීවත්වුනු මුහම්මද් ඉබ්නු අබ්දුල් වහබ් යන පුද්ගලයාය. වහාබ් වාදයේ ආරම්භය පිටුපස කථාව මෙසේය.
ඉස්ලාම් ආගමේ මූලික හරය තවුහීද් හෙවත් එකම දෙවියකු ඇදහීමය. නමුත් ඉස්ලාම් ආගමේ ව්‍යාප්තියත් සමග ලෝකයේ විවිධ ප්‍රදේශ වල තීබූ ඇතැම් සංස්කෘත්රික ලක්ෂණ ඉස්ලාම් ආගමේ මෙම මූලික හරයට තර්ජනයක් විය. උදාහරණයක් ලෙස ඉරානයේ, ඉරාකයේ, පාකිස්තානයේ සහ ඉන්දියාවේ අතැම් ප්‍රදේශ වල ඉස්ලාම් ආගමේ ව්‍යාප්තියට පෙර මළවුන් වන්දනා කිරීම, සොහොන් නමස්කාර කිරීම වැනි කාරණා බහුලව පැවතුනි. එවකට මෙම රටවල් පාලනය කරමින් සිටි ඔටොමන් අධිරාජ්‍යවාදීන් විසින් දේශපාලනමය වාසි තකා මෙම පුරුදු වලට විරුද්ධ වූයේ නැත. එනම් මෙම සොහොන් නමස්කාරය සහ මළවුන් නමස්කාරය සංස්කෘත්රිකමය සිදුවීම් ලෙස පවත්වාගෙන යමින් ඉස්ලාම් දහම ඇදහීමට ඉඩ ලබා දිය.
මෙම ප්රවනතාවයට දැඩි ලෙස විරුද්ධ වූ මුහම්මද් ඉබ්නු අබ්දුල් වහබ් යන පුද්ගලයා මෙවන් සංස්කෘත්රීන් අනුගමනය කරන්නවුන් ඉස්ලාම් ආගමෙන් බැහැරවූවන් යන්නෙන් දැඩි මතවාදයක් ගොඩ නැගූවේය. එවක ඔටොමන් අධිරාජ්‍යය විසින් පාලනය කරන ලද සවුදි අරාබියේ සැලකිය යුතු පිරිසක් මෙම මතවාදය ඔස්සේ ඔහුට එකතු විය. මෙම මතවාදය ඔස්සේ ඔහු ගොඩනගාගත් අනුගාමිකයින්ගේ ප්‍රමාණය වර්ධනය වනු දුටු සවුදි අරාබියේ එවක විසූ ප්‍රාදේශීය නායකයකු වූ මුහම්මද් බින් සවුද් ඔහුගේ දේශපාලන කටයුතු සඳහා වහාබ් ගේ සහය පැතීය. මේ අනුව වහබ් සහ සවුද් යන දෙදෙනා එකඟතාවයකට එළඹීය. එනම් සවුද් විසින් වහාබ්ගේ වහාබ්වාදය ව්‍යාප්ත කිරීමට දේශපාලනික සහාය ලබා දෙන අතර වහාබ් විසින් සවුද්ගේ දේශපාලනය ව්‍යාප්ත කිරීමට ඔහුගේ බලය භාවිතාකර සහය පල කිරීමට එකඟ විය. මේ අනුව වහාබ් විසින් දේශපාලනමය සහය සහිතව සවුදි අරාබියේ මුහම්මද් නබිතුමාගේ නෑදෑ හිතමිත්‍රයින් බොහෝ දෙනාගේ වැදගත් සොහොන් විනාශ කර දැමූ අතර මුහම්මද් නබිතුමාගේ සොහොන ඇතුළු ඉතුරු වී ඇති වැදගත් පුද්ගලයින් භූමදානය කරන ලද ස්ථාන කිහිපය වැඳුම් පිදුම් කිරීම වැලැක්වීම පිණිස දැඩි ආරක්ෂාවක් ස්ථාපනය කරන ලදි. වර්ෂ 150ක් තිස්සේ අද වන තුරු පැවතෙන මෙම වහාබ් සහ සවුද් එකඟතාවය ලෝකයේ පැවතුණු දිගම එකඟතාවය විය හැක.