දුක්ඛිත වර්ෂය

ක්‍රි.ව 619 වන විට මුහම්මද් නබිතුමාගේ ආදරණිය බිරිඳ කතීජා වයට අවුරුදු හැට පහක් පමණ වූ විට අපවත් විය. මෙම අවස්ථාවේදී මුහම්මද් නබිතුමාට වයස අවුරුදු පනහක් පමණ විය. මෙයට ටික කළකට පසුව ඔහුට ආරක්ෂාව ලබා දුන් ඔහුගේ ආදරණීය මාමාටද අසනීප විය. සියලු කුරෙයිෂි නායකයින් ඔහුව බැහැ දැකීමට පැමිණ සිටියෝය. මෙම අවස්ථාවේදී කුරෙයිෂි නායකයින් අබූ තාලිබ් හට නුඹ දන්නෙහිය අප සහ නුඹේ සොයුරාගේ පුතු අතර බාධාවකට සිටියේ නුඹයි කියා. දැන් නුඹේ අවසාන කාලය පැමිණ ඇත. මේ හේතුවෙන් ඔහුගේ ආගම අත්හැර අපට අපගේ ආගම නිදහසේ කරන්නට නුඹ එකඟ කරවු යැයි පැවසුවෝය. මේ අනුව මුහම්මද් නබිතුමාට කථා කළ ඔහු මෙම නායකයින් නුඹගෙන් යමක් දී යමක් ලබාගන්නට කැමැත්ත පළ කර ඇත යනුවෙන් පැවසුවේය. ඊට පිළිතුරු දුන් මුහම්මද් නබිතුමා මට එක් වචනයක් ලබා දෙන්න. ඒ වෙනුවෙන් මා නුඹලාව අරාබිකරයේම බලය සහ පර්සියාවත් නුඹලාගේ ආධිපත්‍යයට යටත් කර දෙන්නම් යැයි පැවසුවේය. එැවනි දෙයකට නම් එක් වචනයක් නොව, වචන දහයකටත් වඩා වුවද දිය හැක යැයි අබූ ජහ්ල් පිළිතුරු දුන්නේය. එවිට මුහම්මද් නබිතුමා අල්ලාහ් හැර නැමදීමට සුදුසු කිසිදු දෙවියෙක් නොමැත යන්නෙන් පවසවු. ඊට ඔවුන් නුඹ සියලු දෙවිවරු එක් දෙවියෙක් බවට කළේ ද? මොහු නුඹලාට කිසිවක් දෙන්නෙ නෑ. මේ නිසා නුඹලා නුඹලාගේ මාර්ගයේ ගොස් අපේ දෙවිවරු මොහු ද අප ද යන්න තීරණය කරන තෙක් නුඹලාගේ මුතුන් මිත්තන්ගේ දහම පිළිපදිවු යන්නෙන් පවසා පිටව ගියහ. ඔවුන් ගිය පසු අබූතාලිබ් මුහම්මද් නබිතුමා වෙත නුඹ වැඩි දෙයක් ඔවුන්ගෙන් නොඉල්ලූ බව මා දුටිමි. මෙම ප්‍රකාශයෙන් බොහෝ සතුටට පත්වූ මුහම්මද් නබිතුමා ඔහුගේ මාමා වෙත මෙම වචන කිහිපය ප්‍රකාශ කොට ඉස්ලාම් දහම වැළඳගන්නා ලෙස ආයාචනා කළේය. මාගේ සොයුරාගේ පුතාණනි! මා අවසාන මොහොතේ ඉස්ලාම් දහම වැළඳගතහොත් මම මරණ බියෙන් ඉස්ලාම් දහම වැළඳ ගත්තේ යැයි ඔවුන් පවසාවි. තව ද මා ඉස්ලාම් ආගම වැළඳ ගතහොත් එය නුඹව සතුටු කිරීම පිණිස පමණකි. මේ අනුව ඔහු ඉස්ලාම් දහම වැළඳනොගෙනම මරණයට පත්වුණේය.

මෙයින් පසුව අබූතාලිබ්ගේ පදවිය අබූලහබ් විසින් හොබවන ලදි. මේ හේතුවෙන් මුහම්මද් නබිතුමාට එරෙහි ක්‍රියාකාරකම් බෙහෙවින් තීව්‍ර වන්නට විය. දිනක් මුහම්මද් නබිතුමාගේ නිවසේ කෑම පිසින භාජනයට කවරෙකු හෝ අපද්‍රව්‍ය දමා තිබුණි. තවත් දිනක් යමකු මුහම්මද් නබිතුමා නැමදුම සිදු කරමින් සිටින විට ඔහුගේ ඇඟ මතට බැටළුවකුගේ රුධිරයෙන් සහ අසූචි වලින් පිරුණු බොකු විසි කළේය. තවත් දිනෙක ඔහුගේ හිසට සහ මුහුණට කුණු විසිකළහ. මෙලෙස නිතර ඔහුට හිංසා පමුණුවනු ලැබුවෝය.

මක්කාවේ තත්ත්වය බෙහෙවින් ගැටළුකාරීවීම හේතුවෙන් මුහම්මද් නබිතුමා තායිෆ් නගරයට ගොස් එහි නායකයින් හමු වන්නට තීරණය කළේය. මේ අනුව තාකිෆ් නගරයේ නායකයින් වූ අම්ර් ඉබ්නූ උමයියාගේ පුතුන් තිදෙනා හමු වී ඔහු අල්ලාහ්ගෙන් ලද අනාවරණයන් සම්බන්ධයෙන් පවසා ඉස්ලාම් දහම වැළඳගන්නා ලෙස ඇරයුම් කළේය. ඊට පිළිතුරු දුන් පළමුවැන්නා නුඹව අල්ලාහ් යවන ලද්දේ නම් අප කාබාවේ ආවාරණයන් ඉරා දමන්නෙමුයි පැවසුවේය. දෙවන්නා නුඹට වඩා සුදුසු කෙනෙකු යවන්නට අල්ලාහ්ට නොහැකි වුණේ දැයි ප්‍රශ්න කළේය. තෙවැන්නා නුඹත් සමග මට කථා කරන්නට අවශ්‍ය නැත. මන් ද යත් නුඹ ඇත්තෙන්ම අල්ලාහ්ගේ දූතයා නම් මා හට නුඹත් සමග කථා කරන්නට තරම් සුදුසුකම් නැත. නුඹ බොරු කාරයකු නම් නුඹට මාත් සමග කථා කරන්නට තරම් සුදුසුකම් නැත යන්නෙන් පැවසුවේය. අපේක්ෂා භංගත්වයට පත් මුහම්මද් නබිතුමා එම ස්ථානයෙන් පිටත්වත්ම එම තායිෆ් නගරයේ නායකයින් මුහම්මද් නබිතුමාට හිංසා කිරීම පිණිස ඔවුනගේ පිරිස් සහ වහළුන්ට අණ කරන ලදුව ඔවුන් කෑ ගසමින් ගල් ගසමින් මුහම්මද් නබිතුමා යන යන තැන ඔහුට අපහාස කළහ. මොවුනගෙන් ගැලවීම පිණිස මුහම්මද් නබිතුමා විසින් කිසිවකුගේ පෞද්ගලික ඉඩමකට ගොස් පඳුරු අතර සැඟවී අල්ලාහ්ගෙන් උදව් පැතුවේය.

කවරය |පටුන |පෙර පිටුව | ඊළඟ පිටුව

9 10 11 12 13 14 15 16 17 18 19 20