සටන්

මේ අතර මක්කාවේ අසාධාරණයට ලක් වී තම නිවෙස් වලින් නෙරපා හරිනලදවුනට සටන් කරන්නට අනුමැතිය දෙමින් පහත කුරාණ වාක්‍යයන් පහළ විය.

“සටනට ලක්වූවන් හට ඔවුන් අපරාධයට ලක් වූ හේතුවෙන් සටන් වැදීමට අනුමැතිය දෙන ලදි. තවද සැබැවින්ම අල්ලාහ් ඔවුන්ට (ජයග්‍රහණය පිණිස) උදව් කිරීම කෙරෙහි අති බලසම්පන්නය.

ඔවුන් කවුරුන්ද යත් හුදෙක්ම අපගේ පරමාධිපති අල්ලාහ් යැයි පැවසීම හේතුවෙන් කිසිදු යුක්තියකින් තොරව ඔවුනගේ නිවෙස් වලින් ඔවුන්ව බැහැර කරනු ලැබූවන්ය.” (අල්කුරාණ් 22:39-40)

මදීනාවෙහි සතුරු රාජ්‍යයක් ක්‍රියාත්මක බව තේරුම්ගත් මක්කාවේ කුරෙයිෂිවරු ඔවුනගේ වෙළෙඳ භාණ්ඩ ප්‍රවාහනය කරන ලද තවලම් සඳහා අධික ආරක්ෂාවක් ලබා දෙන ලදි. තවද මෙම තවලම් ගමන් කරන වේලාවන් සහ දිශාවන් නිතර වෙනස් කරනු ලැබීය‍‍. මේ හේතුවෙන් මදීනාවෙන් කරන ලද බොහෝ ප්‍රහාර මග හැරීමට ඔවුනට හැකි විය‍. එවක අරාබි වරුන් හට ශුද්ධවූ මාස හතරක් විය. මේවා පිලිවෙළින් රබි අල් ආහර්, ජුමාදල් අව්වල්, ජුමාදල් අහර් සහ රජබ් නම් විය. මෙම මාස හතරෙහි සටන් කිරීම ඉතාමත්ම පාපී ක්‍රියාවක් ලෙස ඔවුන් සැලකුවෝය. මේ හේතුවෙන් කුරෙයිෂිවරු රජබ් මස අවසානයේදී යෙමනයේ සිට මක්කාව බලා පැමිණෙමින් තිබූ තවලමක් එය මදීනාවට බොහෝ ඈතින් පැමිනෙණ හෙයින් සහ ශුද්ධවූ මාසයකදී පැමිණෙමින් තිබුණු හෙයින් එතරම් ආරක්ෂාවක් නොමැතිව ගමන් කරන්නට විය. මුහම්මද් නබිතුමා හට මෙවන් තවලමක පැමිණීම පිළිබඳව සැලවීමත් සමග ඔහු ඔහුගේ ඥාති සොයුරෙකු වූ අබ්දල්ලාහ් ඉබ්නූ ජහ්ෂ් තවත් මුහාජිරීන් හෙවත් සරණාගතයින් අට දෙනෙකු සමග මක්කාව සහ තායිෆ් අතර ප්‍රදේශයේ සැඟව සිට තොරතුරු රැගෙන එන ලෙසට නියෝග දුන්නේය. නමුත් තවමත් අවසාන ශුද්ධ වූ මාසය අවසන් නොවීම හේතුවෙන් එම තවලමට ප්‍රහාර දියත් කිරීමට අණ නොකළේය‍. ඉදිරි සැලසුම් සකස් කිරීම පිණිස මෙම තවලම් වල ආරක්ෂාව පිළිබඳ තොරතුරු ලබා ගැනීම ඔහුගේ අරමුණ වන්නට ඇත.

මෙම මුහාජිරීන්වරු ඔවුනගේ ගමනාන්තයට පැමිණි පසුව කුඩා කුරෙයිෂි තවලමක් ඔවුන් සිටි ප්‍රදේශය සමීපයේ ලැගුම් ගත්තෝය‍‍. ඔවුනගේ ඔටුවන් වියළි ආහාර, හම් භාණ්ඩ සහ වෙනත් වෙළඳ භාණ්ඩ වලින් පිරී තිබුණි. මුහම්මද් නබිතුමාගේ අණට අනුව ඔවුන් මෙම තවලම පිළිබඳ තොරතුරු පමණක් රැගෙන පැමිණිය යුතුය. නමුත් මුහම්මද් නබිතුමා ඔවුනට ප්‍රහාර දියත් නොකරන ලෙසට කිසිදු අණක් නොදුන්නෙන් අබ්දල්ලාහ් මෙම තවලම ආක්‍රමණය කිරීමට තීරණය කළේය. මේ අනුව ඔවුන්ගේ ඊ පහරකින් එක් පුද්ගලයකු මරණයට පත් විය‍. උත්මාන් සහ හකම් නම් පුද්ගලයින් දෙදෙනෙකු බාර වූ අතර උත්මාන්ගේ සොයුරු නවුෆල් මක්කාවට පලා ගියේය. අබ්දල්ලාහ් ඇතුළු පිරිස සිර කරුවන්, භාණ්ඩ සහ ඔටුවන් ද රැගෙන මදීනාවට පිටත්විය.

මෙම භාණ්ඩ බෙදා දීමේදී මුහම්මද් නබිතුමා ඔහුට හිමි කොටස භාර නොගත්තේය. මෙම ශුද්ධ වූ මාස වල සටන් කිරීමට මා අනුමැතිය නොදුන්නෙමි යන්නෙන් ඔහු පැවසුවේය. මේ හේතුවෙන් අනෙක් මදීනා වැසියන් මෙම පිරිසට චෝදනා කරන්නට විය‍. මේ අතර කුරෙයිෂි වරු ද මුහම්මද්ගේ පිරිස ශුද්ධ වූ මාසය කෙළසන ලද බවට පුවත් සෑම දිසාවකටම ප්‍රචාරය කරන්නට විය. මේ අවස්ථාවෙහිදී පහත කුරාණ වාක්‍යය පහළ විය.

“(නබිවරය) ශුද්ධ වූ මාසයන් පිළිබඳව, (එනම්) එහි යුද වැදීම ගැන නුඹෙන් ඔවුහු විමසති. එහි සටන් වැදීම මහා වරදකි. නමුත් (ජනයාව) අල්ලාහ්ගේ මාරගයෙන් වැළැක්වීම, ඔහුව ප්‍රතික්ෂේප කිරීම තවද මස්ජිදුල් හරාමයෙන් (කාබාවෙන්) ද (ජනයා වැළැක්වීම) සහ එහි වැසියන් එයින් පිටුවහල් කිරීම අල්ලාහ් අබියස මීට වඩා මහා වරදකි. (පරමාධපතිට ආදේශ තැබීම යන) අක්‍රමිකතාව ඝාතනයට වඩා මහා වරදකි යැයි පවසවු” (අල්කුරාණ් 2:217)

කුරෙයිෂිවරු කප්පම් ගෙවා උත්මාන් නිදහස් කර ගන්නා ලදි. හකම් ඉස්ලාම් දහම වැළඳගෙන මදීනාවෙහි ජීවත් විය.

මෙතුවක් කල් අල්ලාහ්ගේ අණට අනුව මුස්ලිම්වරු නැමදීම සිදු කළ යුතු වූයේ ජෙරුසලමෙහි පල්ලිය පිහිටි දිශාව දෙසටය. නමුත් මෙම කාළ වකවානුවේදී අල්ලාහ් කුරාණ වාක්‍යයකින් මෙම දිශාව වෙනස් කරන ලදි. මේ අනුව මක්කාවේ කාබාව දෙස හැරී නැමදීම සිදු කිරීමට අණ ලැබුණි. මෙය එවක මුස්ලිම් වරුන් හට ඉතාමත්ම සතුටු දායක ආරංචියක් විය.

කවරය |පටුන |පෙර පිටුව | ඊළඟ පිටුව

19 20 21 22 23 24 25 26 27 28 29 30