මේ අතර මුහම්මද් නබිතුමා කුරෙයිෂිවරුන්ගේ රිදී භාණ්ඩ ප්‍රවාහණය කරන ලද තවලමක් කරාදාහිදී සෙයිද්ගේ නායයකත්වයෙන් ආක්‍රමණය කළේය. මේ හේතුවෙන් මදීනාව ආක්‍රමණය කිරීමේ සේනාව සකස් කිරීමේ කටයුතු තවත් වේගවත් කරන්නට විය. ක්‍රි.ව 625 දී ශුද්ධ වූ මාස 4 පසු වී රමදාන් මාසය ළඟා විය. ෆාතිමා හට පිරිමි දරුවෙක් උපන්නේය. මුහම්මද් නබිතුමා ඔහුට හසන් එනම් හොඳ යන නම තැබුවේය. ටික දිනකින් මුහම්මද් නබිතුමා වෙත මුද්‍රා තබන ලද ලිපියක් අශ්වාරෝහකයකු මාර්ගයෙන් ලැබිණි. ඔහුගේ මාමා අබ්බාස් ගෙන් ලද මෙම ලිපියේ තුන් දහසක සේනාවක් මදීනාව බලා පිටත් වන බවත් ඔවුනගෙන් හත් සියයක් සන්නාහයෙන් සන්නද්ධව සිටි බවත් අශ්වාරෝහකයින් දෙසීයක් සිටි බවත් මිනිසුන්ට සමාන ගණනක් ඔටුවන් ද සිටි බවත් සඳහන් ව තිබුණි.
මුහම්මද් නබිතුමා හට මෙම ලිපිය ලැබුණු අවස්ථාව වන විට සේනාව මක්කාවෙන් පිටත් වන ලදි. අබූ සුෆියාන් සේනාධිනායකයා විය. ඔහුත් සමග ඔහුගේ බිරිඳ හින්ද් සහ අනෙක් බිරිඳ ද ගමන් කරන්නට විය. ජුබයිර් නම් මක්කාවේ වංශ නායකයකු ඔහුගේ වහ්ශී නම් ඇබිසීනියානු වහලා සටනට යැවීය. මෙම වහලා හෙල්ල විසි කිරීමෙහි අතිදක්ෂයෙකි. ජුබයිර්ගේ මාමා බද්ර් සටනින් ඝාතනය වීමේ පලිය ලබා ගැනීම පිණිස ඔහු මුහම්මද් නබිතුමාගේ මාමා වන හම්සාව මරණයට පත් කළේ නම් ඔහුව නිදහස් කරන බවට ඔහු වහලාට පොරොන්දු වී තිබුණි.
මදීනාවෙහි මුහාජිරින්වරු සහ අන්සාරිවරුනට සතුරන් ළංවීමට පෙර සටනට ලැහැස්ති වීමට සතියක කාළයක් තිබුණි. මේ අතරතුර මදීනාවට පිටතින් ජීවත් වුනු මිනිසුන් සහ සත්ත්වයින් සියල්ල මදීනාව තුළට රැගෙන ඒමට සිදු විය. මෙම සටන බෙහෙවින් දුෂ්කර වන බවත් මුස්ලිම් වරුන් හට දැඩි හාණියක් නියම වන බවත් මුහම්මද් නබිතුමා සිහිනෙන් දුටුවේය. මේ හේතුවෙන් ඔහු පළමුව මදීනාවෙන් පිටතට නොයා මදීනාව තුළ සිට සටන් කිරීමට සිතා සිටියේය. කෙසේ වෙතත් ඔහු ඔහුගේ පිරිස කැඳවා ඔවුන්ගේ අදහස් විමසුවේය. පළමුව අදහස් ඉදිරිපත් කළේ ඉබ්නූ උබයි විසිනි. අපගේ නගරය කිසිවිටකත් අපව අතරමං කර නොමැත. අප පිටට ගොස් සටන් කළ සෑම අවස්ථාවකම අපට දැඩි හාණි සිදුවී තිබේ. නමුත් මදීනාවට ඇතුළු වන්නට උත්සාහ කළ සියලු සතුරන් හට අතීතයේ දැඩි හාණි සිදුවී තිබේ. මේ නිසා ඔවුන් හට එන්නට ඉඩ දෙනු. අප ඔවුනට දැඩි හාණි පමුණුවා පළවා හරිමු. ඔවුන් කිසිදු පරමාර්ථයක් ඉෂ්ඨ කරගත නොහැකිව හැරී යනු ඇත යන්නෙන් ඔහු පැවසුවේය.
ඉබනූ උබයිගේ අදහසට මුහාජිරීන්වරු සහ අන්සාරිවරු අතුරින් වයසක උදවිය බොහෝ දෙනෙකු එකඟත්වය පළ කළෝය. එවිට මුහම්මද් නබිතුමා සියල්ලන්ටම මදීනාව තුළ සිටින්නට අණ කර කාන්තාවන් සහ දරුවන් බලකොටුව තුළ රැඳවීමට නියෝග කළේය. නමුත් එම අවස්ථාවේදී තරුණ ජනගහනය එළියට ගොස් යුද වැදීමට දැඩි අපේක්ෂාවකින් පෙළෙමින් සිටි බවට ඔහුට වැටහිණි. අල්ලාහ්ගේ දූතයාණෙනි! අපව සතුරාට එරෙහිව සටන් වැදීමට නායකත්වය දෙනු. අප ඔවුනට බියවී හෝ ඔවුනට සාපේක්ෂව දුබලයින් යැයි සිතීමට ඉඩ නොදෙනු. බද්ර් සටනෙහි අප හට සිටියේ තුන්සිය දෙනෙකු පමණි. නමුත් අල්ලාහ් අපට ජයග්‍රහණය ලබා දිය. දැන් අපට ඊට වඩා බොහෝ දෙනෙකු සිටියි. අප පුණ පුණා බලා සිටි කාලය දැන් අප දොරටම තට්ටු කර ඇත යන්නෙන් ඔවුනගෙන් ඇතැමුන් පැවසුවෝය. අවසානයේ කස්රජ් වංශයේ අන්සාරිවරයකු වූ මාලික් බින් සිනාන් නැගිට අල්ලාහ්ගේ දූතයාණෙනි! අප ඉදිරියේ විකල්ප දෙකක් ඇත. අප ඔවුන්ව යටපත් කර ජය ගැනීම. නැතිනම් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කර අල්ලාහ් වෙනුවෙන් ප්‍රාණපරිත්‍යාග කිරීම. මෙම දෙකෙන් කුමක් සිදු වූවත් කම් නැත. දෙකෙහිම අපට අත්තේ යහපතයි යන්නෙන් පැවසුවේය.
මේ අනුව බහුතරයකගේ කැමැත්ත වූයේ පිටතට ගොස් සටන් කිරීමට බව මුහම්මද් නබිතුමාට වැටහිණි. පසු දින මුහම්මද් නබිතුමා අයුද සන්නද්ධව සටනට ලැහැස්ති වී නිවසින් පිටතට පැමිණියේය. සාද් බින් මුආද් ඔහුගේ ජනතාවට නුඹලා අල්ලාහ්ගේ දූතයාණන් හට ඔහුගේ කැමැත්තෙන් පිට දෙයක් කිරීමට බල කළෙහුය යන්නෙන් චෝදනා කළේය. තීරණය ගැනීමේ බලය ඔහුට භාර දී නැවතත් තිරණය කිරීමට ඔහුට බලය ලබා දෙනු යන්නෙන් ඔහු පැවසුවේය. මේ නිසා පිටතට පැමිණි මුහම්මද් නබිතුමා දෙස බලා රැස් ව සිටි පිරිස අල්ලාහ්ගේ දූතයාණෙනි! නුඹ තීරණය කළ දෙයකට එරෙහි වීමට අපට බලයක් නැත. මේ නිසා නුඹට වඩාත්ම සුදුසු යැයි සිතෙන දේ කරමු යැයි පැවසුවෝය. අල්ලාහ්ගේ වක්තෘවරයකු ආයුද සන්නද්ධ වීමෙන් පසුව අල්ලාහ් විසින් ඔහු සහ ඔහුගේ සතුරන් අතර බේරුමක් කරන තුරු එය ගැලවීමට වක්තෘවරයාට අධිකාරියක් නොමැත. මේ නිසා අල්ලාහ්ගේ නාමයෙන් ඉදිරියට යමු. නුඹලා විශ්වාසයෙන් ස්ථිරව සිටින තාක් නුඹලාට ජයග්‍රහණය නියතයි යන්නෙන් පැවසුවේය. මේ අනුව මුහම්මද් නබිතුමා ඔහුගේ දහසක පමණ සේනාවත් සමග සටනට පිටත් ව ගියේය.