කයිබර්

බනී කයිනුකා සහ බනී නදීර් යුදෙව් වාංශිකයින් මදීනාවෙන් පිටුවහල් කිරීමෙන් පසුව ඔවුන් බොහෝ දෙනෙකු කයිබර් හි පදිංචියට ගිය හෙයින් කයිබර් මදීනාවේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් බව අගල් සටනෙහි ඔවුන්ගේ මැදිහත් වීම හේතුවෙන් මනාව තහවුරු විය. මෙම යුදෙව් වාංශිකයින් කිසි දිනක මදීනාවත් සමග එළිපිට සටනකට නොපැමිණෙන බව ඔවුන් දැන සිටි නමුත් ඔවුන් සතු වත්කම් සහ බලය හේතුවෙන් ඔවුනගෙන් මදීනාවට සිදුවිය හැකි තර්ජනයන් පිළිබඳව මුස්ලිම්වරු අමතක නොකළෝය. කෙසේ වෙතත් කුරෙයිෂිවරු සමග පැවති ගැටුම් හේතුවෙන් ඔවුනට කයිබර් දිශාවට අවධානය යොමු කිරීමට අවකාශයක් නොලැබුණි. දැන් කුරෙයිෂිවරු සමග පවතින සටන් විරාමය හේතුවෙන් ඔවුනට කයිබර් වෙතින් පැමිණිය හැකි තර්ජනයන් පිළිබඳව අවධානය යොමු විය. ලාබිද් මන්තරකරුවාද කයිබර් හි සිට මෙහෙයවා තිබීමට ඉඩ ඇත.

මේ හේතුවෙන් මුහම්මද් නබිතුමා කයිබර් වැටලීමට තීරණය කළේය. කයිබර් හි යුදෙව්වන් ඉතාමත් බල සම්පන්න සේම වත්කම් වලින් පිරිපුන් බව දන්නා කරුණකි. තවද ඔවුන් සතුව දස දහසක පමණ හමුදාවක් තිබුණි. ඔවුනට අවශ්‍ය නම් ගතාෆාන් මිත්‍ර පාර්ෂවයන්ගේ උදව් ද පතන්නට හැකි විය. නමුත් මුහම්මද් නබිතුමා මෙම සටනට සහභාගි වීමට එක්දහස් හයසියයක පමණ පිරිසක් පමණක් කැඳවන ලදි. කයිබර් වැටලීමෙන් ඔවුනට බොහෝ වත්කම් අත්පත් කරගත හැකි වීම හේතුවෙන් සටනට බොහෝ පිරිස් එකතු කරගත හැකි වුවද මුහම්මද් නබිතුමා හට අවශ්‍ය වූයේ කිසිදු වත්කමක් අත්පත් කර ගත නොහැකි බව දැන දැන මක්කාවේ වන්දනාවට සහභාගි වූ පිරිස අතර පමණක් මෙම වත්කම් බෙදා දීමට විය හැක. මුහම්මද් නබිතුමාගේ ප්‍රයත්නය කටින් කට පැතිරී මක්කාවේ කුරෙයිෂිවරුන් වෙත ද ආරංචි විය. කුරෙයිෂිවරු සහ අනෙක් සතුරන් මෙම පුවත සත්‍යයක් විය යුතු බවට ප්‍රාර්ථනා කළෝය. කයිබර් යුදෙව්වන්ගේ අද්විතීය යුද ශක්තිය සහ සටන් හැකියාව පිළිබඳව ආරංචි වී තිබුණු හෙයින් අවසානයේදී මුහම්මද් ට අතිවිශාල පරාජයක් යුදෙව්වන්ගේ අතින් සිදු වනු ඇතැයි ඔවුන් විශ්වාස කළෝය. නමුත් ඔවුනට මෙම පුවතෙහි සත්‍යතාවය පිළිබඳව සැකයක් ද පැවතුණි. මන් ද යත් මුහම්මද් නබිතුමා පිස්සෙකු නොවන බව ඔවුන් දැන සිටි නිසාය. මේ අතර කයිබර් වැසියන්ට මෙම පුවත ආරංචි වුවද ඔවුන්ගේ උඩඟුකම හේතුවෙන් ඔවුන් මෙම පුවත විශ්වාස නොකළෝය. මුහම්මද් නබිතුමා මදීනාවෙහි සිට කයිබර් බලා පිටත් වන්නට නියමිත බවට නිශිචිත තොරතුරු ලැබෙන තෙක් ඔවුන්ගේ මිත්‍ර පාර්ෂවයන්ගේ සහය පැතීමට පවා ඔවුන් කරදර නොවීය. මෙම පුවතෙහි සත්‍යතාවය තහවුරු වූ වහාම කයිබර් හි නායකයකු වූ කිනානා ගතාෆාන් වාංශිකයින් වෙත ගොස් රට ඉඳි අස්වැන්නෙන් භාගයක් දීමේ පොරොන්දුව පිට ඔවුන්ගේ උපකාර පැතුවේය. මේ අනුව ඔවුන් හාර දහසක සේනාවක් පොරොන්දු විය. මදීනාවෙහි සේනාවෙහි තත්ත්වය ඉතාමත් දුර්වල ස්වභාවයක් පෙන්නුම් කළේය. ඔවුන් බොහෝ දෙනෙකු ඉතාමත් දුගී දුප්පතුන් විය. මින් පෙර වැටලීම් වලින් අත්පත් කරගත් වත්කම් බොහෝමයක් මක්කා වන්දනාව සඳහා වැය වූ අතර සතර දිගින් මදීනාවට පැමිණි සරණාගතයින් හට පිහිට වීම හේතුවෙන් බොහෝ දෙනා දුප්පත් ස්වභාවයක් පෙණ්නුම් කළෝය. මදීනාවෙන් පිටත්වීමට නියමිතව සිටියදී අවුස් වංශයට අයත් පුද්ගලයකු වූ අබූ අබ්ස් මුහම්මද් නබිතුමා වෙතට පැමිණ ඔහු සතුව ඔටුවකු පමණක් තිබෙන බවත් ඔහුගේ ඇඳුම් භාවිතයට නුසුදුසු අන්දමින් ඉරී තිබෙන බවත් සටනට රැගෙන යාමට කිසිවක් නොමැති අතර පවුලේ පැවැත්මට ද තබා යාමට කිසිවක් නොමැති බවත් පැමිණිලි කළේය. මුහම්මද් නබිතුමා ඔහුට දිගු වටිනා කබායක් තිළිණ කළේය. නමුත් දින කිහිපයකට පසුව මුහම්මද් නබිතුමා ඔහු දුන් කබාය වෙනුවට ඔහු බාල කබායක් ඇඳ සිටිනු දුටුවේය. මා නුඹට දුන් කබාය කොහිදැයි ඔහු ඇසුවේය. මා එය දිර්හම් අටකට විකුණා දිර්හම් හතරකට බාල කබායක් මිළට ගෙන දිර්හම් දෙකකට මා සඳහා රට ඉඳි මිළට ගත්තෙමි. ඉතුරු දිර්හම් දෙක මාගේ පවුලේ පැවැත්මට ලබා දී පැමිණියෙමියි පැවසුවේය. එවිට මුහම්මද් නබිතුමා සිනාසී අබූ අබ්ස් නුඹ සහ නුඹේ සගයින් ඇත්තෙන්ම දුප්තුන්ය. නමුත් නුඹලා ජීවත් වන මෙම ටික කාළයකට නුඹලා සතුව බොහෝ වත්කම් තිබීම හොඳ දෙයක් නොවන බවට අල්ලාහ් මත දිවුරා ප්‍රකාශ කළේය.

දින කිහිපයක ගමනකින් පසුව ඔවුන් රාත්‍රියේදී ඉතාමත්ම නිශ්ෂබ්දව කයිබර් වෙතට ළඟා විය. උදෑසන නැමදුමෙන් පසුව ඔවුන් නිශ්ෂබ්දව හිජාස්හි උද්‍යානය දෙස බැලුවෝය. හිරු නැග එත්ම ඔවුනට යුදෙව් බලකොටුව සාරවත් ඉඳි සහ ඉරිඟු අස්වනු ඉහලින් දිස්වන්නට විය. කම් කරුවන් උදලු, සවල් සහ බාල්දි රැගෙන කුඹුරු වෙතට පැමිණි විට ඔවුන් මදීනා සේනාව සමග මුහුණට මුහණ හමුවීමෙන් මවිතයට පත් වී මුහම්මද් සහ සේනාව යැයි කෑ ගසමින් බලකොටුව වෙත පලා ගියෝය. එවිට මුහම්මද් නබිතුමා අල්ලාහු අක්බර්! කරිබත් කයිබර් හෙවත් අල්ලාහ් අති විශිෂඨයි! කයිබර් විනාශ වෙයි! යන්නෙන් හඬ නැගුවේය.

යුදෙව් නායකයින් හදිසි රැස්වීමක් කැඳවා ඔවුන්ගේ බලකොටු තුළ සිට සටන් කරන්නට තීරණය කළෝය. මදීනා බලකොටුව මෙන් නොව. ඔවුන්ගේ කඳු මෙන් වූ විශාල බලකොටු ඉතාමත්ම ශක්තිමත් යැයි ඔවුන් නිතර පුරසාරම් දෙඩවූවෝය. නමුත් අල්ලාහ් කුරාණයේ යත්‍රිබ් හි යුදෙව්වන් පිළිබඳව අනාවරණය කරන ලද කාරණය එනම් ඔවුන් එකිනෙකා සමග සැකයෙන් යුතුව පවතින බවත්, නුඹ ඔවුනව එක් පාරෂවයක් ලෙස දකින නමුත් ඔවුන්ගේ සිත් පිරිහී ගොස් තිබෙන බවටට කුරාණය කරන ලද අනාවරණය කයිබර් හි යුදෙව්වනට ද පොදු බව මුහම්මද් නබිතුමා දැන සිටියේය. කයිබර් හි මෙම යුදෙව්වන් ඔවුනොවුන්ගේ බලකොටු වල සිට වෙන වෙනම සටන් කිරීමට තීරණය කිරීම ඔවුනතර තිබෙන්නා වූ මෙම අසමගියෙහි ප්‍රතිවිපාකයකි. නමුත් ඔවුන්ට මුහණ දීමට සිදු වී තිබෙන්නාවූ මුස්ලිම් සේනාව ඔවුනට හාත්පසින් වෙනස් ය. ඉතාමත් කුඩා සේනාවක් වුව ද ඔවුන් අල්ලාහ්ගේ පොරොන්දුව මත විශ්වාසයෙන් සහ මුහම්මද් නබිතුමාගේ මග පෙන්වීමෙන් ඉතාමත්ම ළඟින් අමුණන ලද ගඩොලින් සකසන ලද්දක් මෙන් සටන් කළෝය.

පළමු දිනයේදී මුස්ලිම්වරු ළඟම තිබුණු බලකොටුවට පහර දීමට ආරම්භ කළ අවස්ථාවේදී අනෙක් බලකොටු වලින් ඔවුන්ගේ උපකාරය පිණිස එළියට පැමිණ මුස්ලිම් හමුදාව පලවා හරිනු වෙනුවට ඔවුන් ඔවුනොවුන්ගේ බලකොටු තුළ සිට ඔවුනොවුන්ගේ ආරක්ෂාව තර කරමින් සිටියෝය. මේ හේතුවෙන් සේනා දෙකෙහි අසමතුළිතබව හේතුවෙන් එතරම් විපාකයක් නොවීය. නමුත් ඔවුන්ගේ බලකොටුවල ශක්තිමත් බව සහ මෙම ආගන්තුක ප්‍රදේශයට ගමන් කරීමේ වෙහෙස හේතුවෙන් මුස්ලිම්වරුන්ගේ දරාගැනීමේ හැකියාව පිළිබඳව බෙහෙවින් පිරික්සීමට ලක් විය. තවද එක් සටනක් වෙනුවට බොහෝ සටන් සිදු කිරීමට මුස්ලිම්වරුනට මෙහිදී සිදු විය. තවද කයිබර් ජනයා කුරුමානම් ඇල්ලීම සහ ඊ විදීමෙහි ඉතාමත් දක්ෂයින් විය. මේ හේතුවෙන් මුස්ලිම්වරු මෙම සටනින් පලිහ භාවිතයෙහි විශාල පුහුණුවක් ලැබුණි. මෙම සටනට පැමිණි මුස්ලිම් කාන්තාවන් කිහිපදෙනා සටන ආරම්භයේ සිටම ඊතල් වලින් සිදු වූ තුවාල වලට ප්‍රතිකාර කිරීමෙන් බෙහෙවින් කාර්යබහුල විය.

සටන ආරම්භවී දින කිහිපයක් මුළුල්ලේ කිසිදු ප්‍රගතියක් මුස්ලිම්වරුනට අත් නොවීය. සය වන දිනයේ රාත්‍රියේදී උමර් කඳවුර මුරකරමින් සිටි අවස්ථාවේ මුස්ලිම්වරුනගේ කූඩාරම තුළ යුදෙව් ඔත්තු කරුවෙක් අසු විය. ඔහුගේ ජීවිත දානය වෙනුවෙන් ඔහු යුදෙව් බලකොටු සම්බන්ධයෙන් වටිනා තොරතුරු රැසක් හෙළි කළේය. ආරක්ෂාව අවම බලකොටුව සහ එම බලකොටු තුළ තිබෙන වටිනා අයුධ පිළිබඳ තොරතුරු අතර ඔවුන් විසින් කයිබර් හි අනෙක් බලකොටු සමග සටන් වදින අවස්ථාවන් වල එම බලකොටු බිඳ දැමීමට භාවිතා කළ ඇතැම් යුද උපකරණ පිළිබඳ තොරතුරු ද ඔහු අනාවරණය කළේය.

මෙම තොරතුරු අනුව ඔවුන් එම ආරක්ෂාව අවම බලකොටුව හත් වන දිනයේ අත්පත් කරන ලදි. මෙමගින් ඔවුන් විශාල බැලිස්ටා ගල් විදින යන්ත්‍රයක් සහ ටෙස්ටුඩෝ වර්ගයේ පලිහ දෙකක් අත්පත් කරගත්හ. මෙම උපකරණ භාවිතයෙන් ආරක්ෂාව අවම බලකොටු සියල්ල එක පිට එක යටත් කරමින් ඉදිරියට යන්නට ඔවුනට හැකි විය. මෙලෙස ඔවුන් ඉදිරියට යන අතරතුර ඔවුනට හමු වූ පළමු බලවත්ම බලකොටුව වූයේ නඊම් බලකොටුවයි. මෙහිදී ආරක්ෂක හමුදාව ඉතාමත්ම බලවත් වූ හෙයින් මුස්ලිම්වරුන්ගේ සියලු ප්‍රහාර දක්ෂ ලෙස ප්‍රතිප්‍රහාර වලින් පලවා හරින ලදි. මෙදින මුහම්මද් නබිතුමා හෙට දිනයේදී මා යුද ධජය අල්ලාහ් සහ ඔහුගේ දූතයා බෙහෙවින් ආදරය කරන කෙනෙකුට ලබා දෙමි. අල්ලාහ් ඔහු තුළින් අපට ජය ලබා දෙනු ඇත. ඔහු කිසි දිනක සටනින් පලා යන්නකු නොවේ යන්නෙන් පැවසුවේය.

මින් පෙර සිදු වූ සටන් වලදී මුස්ලිම්වරු කුඩා ධජයන් භාවිත කරන ලදි. නමුත් කයිබර් සටන සඳහා මුහම්මද් නබිතුමා ආයිෂාගේ කබායකින් සාදන ලද විශාල කළු ධජයක් රැගෙන ආවේය. මෙම ධජය ඔවුන් උකුස්සා නමින් හැඳින්විය. මෙදින ඔහු මෙම ධජය අලිට ලබා දුන්නේය. පසුව ඔහු අලිට සහ ඔහුගේ පිරිස වෙනුවෙන් ඔවුනට ජය ලබා දෙන මෙන් අල්ලාහ්ගෙන් අයාචනා කරන ලදි. සුබයිර් සහ අබූ දුජානා ඇතුළු දක්ෂ සටන් කරුවන් සහිත අලිගේ පිරිස දැඩි සටන් සමගින් මෙම බලකොටුව යටත් කරන ලදි. නමුත් මේ වන විට මෙම බලකොටුවෙහි බොහෝ පිරිස්, පසුපස ද්වාරයකින් වෙනත් බලකොටුවලට පලාගොස් සිටියෝය.

මේ අතරතුර යුදෙව්වන්ගේ මිත්‍ර හමුදාව වූ ගතාෆාන් වාංශිකයින් කොහි ද යන්න ඔවුන් සියලුදෙනා නගන ලද ප්‍රශ්නයක් විය. ගතාෆාන් වාංශිකයින් පොරොන්දු වූ පරිදි හාර දහසක සේනාවක් සමග පිටත්ව ගොස් සිටියෝය. කයිබර් වෙත එක් දිනක ගමනකින් පසුව ඔවුනට රාත්‍රියේදී කොහිදෝ සිට අමුතු හඬක් නුඹලාගේ ජනයා! නුඹලාගේ ජනයා! නුඹලාගේ ජනයා! යන්නෙන් තුන් වතාවක් හඬ නගනු ඇසුණි. මේ හේතුවෙන් ඔවුන් ඔවුන්ගේ පවුල් වලට අණතුරක් යැයි සිතා වහාම නැවතත් ඔවුන්ගේ වාසස්ථාන වලට පලා ගියෝය. ඔවුනගේ පවුල් සියල්ල ආරක්ෂිත බව දැනගත් පසු නැවතත් ඔවුන් සටනට පිවිසීමට මැළි වූහ. ඔවුන් දැනටමත් පරක්කු බවත් ඔවුන් කයිබර් වෙත ළඟා වන විට සතුරන් යුදෙව්වන් හමුවේ පරාජය වී සිටිනු ඇතැයි ඔවුන් සිතුවෝය.

කයිබර් බලකොටු අතරින් වඩාත්ම බලවත් බලකොටුව වූයේ සුබයිර් බලකොටුවය. එය අධික බෑවුමක් සහිත මිටි කන්දක් මත පිහිටා තිබීම සහ වෙනත් මිටි කඳු මධ්‍යයේ පිහිටා තිබීම හේතුවෙන් එම බලකොටුව සමීපයට යෑම පවා දුෂ්කර කාර්යයක් විය. අනෙක් ආක්‍රමණය කරන ලද බලකොටු වලින් පසු බෑ පිරිස් සියල්ලෝම පාහේ මෙම බලකොටුවට පලා ගියෝය. මුස්ලිම්වරු මෙම බලකොටුව දින තුනක් තිස්සේ වටලමින් සිටි නමුත් කිසිදු පළක් නොවීය. පසුව වෙනත් බලකොටුවක යුදෙව්වෙක් මුහම්මද් නබිතුමා වෙත පැමිණ මෙම බලකොටුව තුළ ආහාර පාණ සහ අනෙක් අත්‍යාවශ්‍ය දෑ බොහෝමයක් සඟවා තිබෙන බවත් මේ හේතුවෙන් මෙම බලකොටුව ආක්‍රමණය කිරීම කළ හැකි දෙයක් නොවන බවත් කියා සිටියෝය. තවද ඔවුන් සතුව මෙම බලකොටුව ආක්‍රමණය කළ හැකි රහසක් තිබෙන බවත් ඔහුගේ ජීවිතය, වත්කම් සහ පවුල ආරක්ෂා කරන බවට පොරොන්දු වන්නේ නම් මෙම රහස අනාවරණය කරන බවටත් ඔහු එකඟ විය. මුහම්මද් නබිතුමා ඊට එකඟ වූ විට ඔහු එම ප්‍රදේශයේ භූමිය යටින් ඇළක් ගමන් කරන බවත් එම ඇළ බලකොටුව යටින් ගමන් කරන අතර කවරදාක වත් මෙම ඇළ නොසිඳෙන බවත් බලකොටුව තුළ ඇති පඩි පෙළක් මාර්ගයෙන් මෙම ජලය ලබා ගැනීමේ හැකියාවක් ඔවුනට තිබෙන නිසා ඔවුන් කවරදාකවත් ජලය රැස් කර තබා නොගන්නා බවත් ඔහු අනාවරණය කළේය. මේ අනුව මුස්ලිම්වරු මෙම ජලය අවහිර කළ අතර පිපාසය දරාගත නොහැකිව ඔවුන් බලකොටුවෙන් පිටතට පැමිණ සටන් කරන ලද අතර, උග්‍ර සටනකින් පසුව ඔවුන්ව පරාජය කරන ලදි.

යම් ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට සමත් වූ අවසාන බලකොටුව වූයේ කාමුස් බලකොටුවය. මෙම බලකොටුව කිනානා නම් නායකයා යටතේ පැවති බලකොටුවයි. මොවුන් බනී නදීර් වංශයට අයත් වඩාත්ම බලවත් සහ පොහොසත්ම කුලයයි. මොවුන්ගෙන් ඇතැමුන් බොහෝ කාලයකට පෙර සිටම කයිබර් හි විසූ අතර කිනානා ඇතුළු ඇතැමුන් මදීනාවෙන් නෙරපන ලදුව කයිබර් හි පැමිණ පදිංචි විය. දින දහහතරක් තිස්සේ බලකොටුව තුළ සිට ප්‍රතිප්‍රහාර දීමට ඔවුන් සමත් විය. අවසානයේදී කිනානා විසින් මුහම්මද් නබිතුමාට පණිවිඩයක් මගින් යම් ගිවිසුමකට එළඹීමට එකඟ වන ලදි. මේ අනුව ඔවුන්ගේ නායකයින් සහ පවුල් පිටතට පැමිණ ඔවුන්ව නොමරා සිරකරුවන් ලෙස ද නොගෙන ජීවිත දානය දුන්නේ නම් ඔවුන් සතු සියලු වස්තූන් ආක්‍රමණිකයින් වෙත භාර දී කයිබර් වෙතින් පිට වන බවට ඔවුන් පොරොන්දු විය. එවිට මුහම්මද් නබිතුමා ඔවුන් වෙත තවත් කොන්දේසියක් ඉදිරිපත් කළේය. එනම් ඔවුන්ගෙන් යම් කෙනෙකු හෝ ඔවුන් සතු යම් වස්තුවක් සැඟවීමට උත්සාහ දැරුවහොත් ඔවුන්ගේ ජීවිත දානය දීමේ කොන්දේසිය අවලංගු කරන බවටය. ඔවුන් ඊට එකඟ වන ලදි. මුහම්මද් නබිතුමා අබූ බක්කර්, උමර්, අලි සහ සුබයිර් ඇතුළු යුදෙව්වන් දස දෙනෙකු මෙම ගිවිසුම සඳහා සාක්ෂි කරුවන් ලෙස කැඳවන ලදි.

නමුත් මුස්ලිම්වරුනට මෙන්ම යුදෙව්වනටද මොවුන් සතු බොහෝ වස්තූන් සඟවා තිබෙන බවට පැහැදිළි විය. බනී නදීර් සතුව තිබූ මදීනාවෙහිදී ඉතාමත්ම ආඩම්බරයෙන් ප්‍රදර්ශනය කරන ලද ඔවුන්ගේ පාරම්පරික වස්තුව කොහි ද? යන්නෙන් මුහම්මද් නබිතුමා කිනානා ගෙන් ප්‍රශ්න කළේය. එවිට කිනානා එම වස්තු සියල්ල විකුණා යුද්ධය සඳහා යුද ආම්පන්න මිළට ගත් බව ඔහු පිළිතුරු දිය. මෙම පිළිතුර බොරුවක් බව දැන සිටි යුදෙව්වන් බොහෝ දෙනෙකු බියට පත්විය. මුහම්මද් නබිතුමා නබි කෙනෙකු බවට ඔවුන් දැන සිටි නමුත් ඔවුන්ගේ තර්කය වූයේ මොහු ඔවුන් අතරින් නොපැමිණි නිසා මොහුව අනුගමනය කිරීම අවශ්‍ය නොවේ යන්නයි. නමුත් නබි කෙනෙකු රැවටීමට උත්සාහ කිරීම ඵල රහිත ක්‍රියාවක් බවද ඔවුන් දැන සිටියෝය. මේ හේතුවෙන් මෙම පිරිස අතුරින් කෙනෙකු කිනානා වෙතට ගොස් මුහම්මද් නබිතුමාව රවට්ටන්නට උත්සා නොකරන ලෙසට බැගෑපත්ව ඉල්ලා සිටියේය. එවිට කිනානා ඉතා කොපයෙන් ඔහුට බැන වැදුනේය. නමුත් එදිනම එම වස්තුව සොයා ගැණුනු අතර මේ හේතුවෙන් කිනානා සහ මෙම සැඟවීමට මූලික වශයෙන් සම්බන්ධ වූ ඔහුගේ ඥාති සොයුරෙකුව ද මරණයට පත් කර ඔවුන්ගේ පවුල් සිරකරුවන් ලෙස පත් කරගන්නා ලදි.

කාමුස් බලකොටුව බිඳ වැටීමෙන් අනතුරුව ඉතුරුව තිබුණු අනෙක් බලකොටු දෙකම එවැනිම එකඟතාවයක් යටතේ යටත් වන ලදි‍. පසුව මෙම යටත් වන ලද යුදෙව්වන් සියලු දෙනා යම් තීරණයකට එළඹී මුහම්මද් නබිතුමා වෙතට පැමිණ ඔවුනට ඔවුන්ගේ නිවෙස් සහ කුඹුරු තබා ගැනීමට අවසර දුන්නේ නම් ඔවුන්ගේ අස්වැන්නෙන් භාගයක් සෑම වසරකම කුලිය ලෙස ලබා දීමට පොරොන්දු විය. මුහම්මද් නබිතුමා මෙම කොන්දේසියට එකඟත්වය පළ කළ නමුත් අනාගතයේදී ඔවුනට මෙම ප්‍රදේශයෙන් පිටවන ලෙස දැනුම් දෙනු ලැබුවහොත් පිට විය යුතු බවට දැනුම් දුන්නේය. පසුව කියිබර් හි ඊසාන දිගින් පිහිටි කුඩා නමුත් පොහොසත් යුදෙව් ගම්මානයක් වූ ෆඩක් ගම්මානයද මුස්ලිම්වරු ආක්‍රමණය කරන්නට සැරසෙන බව ඔවුනට ආරංචි විය. පසුව කයිබර් හි යුදෙව්වන් සමග මුහම්මද් නබිතුමා ඇතිකරගත් එකඟතාවය පිළිබඳව ආරංචිවීමත් සමග ඔවුන් ද මුහම්මද් නබිතුමා වෙතට පැමිණ මුස්ලිම්වරුනට යටත් වන බව ප්‍රකාශ කර එම කොන්දේසි මතම එකඟතාවයකට එළඹිය. මේ අනුව ෆඩක් ගම්මානයට කිසිදු යුද්ධයකින් තොරව මුහම්මද් නබිතුමාගේ වත්කමක් බවට පත් විය.

මෙලෙස කයිබර් සහ ෆඩක් සමුපූර්ණයෙන්ම අත්පත් කර ගිවිසුම් වලට එළඹී අවසානයේදී විවේක ගනිමින් සිටි දිනයක සල්ලාම් ඉබ්නූ මිෂ්කාම් නම් යුදෙව්වකුගේ වැන්දබු බිරිඳ පුළුස්සන ලද එළුමස් රැගෙන සෑම පත්තකින්ම මාරාන්තික විසක් කලවම් කර විශේෂයෙන්ම මුහම්මද් නබිතුමා උරහිස් පෙදෙසට බොහෝ ප්‍රිය කරන බව ආරංචි වී තිබීම හේතුවෙන් උරහිස් ප්‍රදේශයෙහි වැඩි වශයෙන් විස කලවම් කර මුස්ලිම්වරුනගේ කඳවුර වෙත ගොස් මුහම්මද් නබිතුමා වෙත පිරිනැමුවාය. මුහම්මද් නබිතුමා ඇයට ස්තූති කොට සමීපයේ සිටි ඔහුගේ සගයින් ද කැටුව එය අනුභව කිරීමට ලැහැස්ති විය. මුහම්ද් නබිතුමා සුපුරුදු පරිදි එළුවාගේ උරහිස් කැබැල්ලක් ගෙන කට තුළට දැමූ වහාම ඔහුගේ සගයින් ද අනුභව කිරීමට පටන් ගත්තෝය. නමුත් මුහම්මද් නබිතුමා වහාම හපන ලද එම එළුමස් කැබැල්ල පිටතට කෙළ ගසා ඔහුගේ පිරිසට ද අනුභව නොකරනු! මෙහි විස කලවම් කර ඇත යනුවෙන් පැවසුවේය. නමුත් මේ වන විට මුහම්මද් නබිතුමාගේ එක් සගයකු වූ බිෂ්ර් නම් කස්රජ් වාංශිකයා දැනටමත් කැබැල්ලක් ගිල්ලේය. මුහම්මද් නබිතුමා එම කාන්තාව ගෙන්වා මෙම මස්වලට විස කලවම් කළේ දැයි ප්‍රශ්න කළේය. නුඹට කවුද මෙය පැවසුවේ යන්නෙන් ඇය ප්‍රශ්න කළේය. උරහිස් කැබැල්ල මේ බව පැවසුවා. ඇයි එසේ කළේ යන්නෙන් මුහම්ද් නබිතුමා ප්‍රශ්න කළේය. නුඹ නොදන්නේ ද? නුඹ මාගේ සැමියා, පියා සහ මාමාව ද මරණයට පත් කර මාගේ ජනයාට ද මෙම ඉරණම අත් නොකළේ ද? මේ නිසා නුඹ රජ කෙනෙකු නම් නුඹව විනාශ කිරීම යහපත් යන්නෙන් ද නුඹ නබි කෙනෙකු නම් නුඹ මෙහි විස කලවම් කර ඇති බව දැනගන්නෙහු යැයි මා සිතාගත්තෙමි. මේ වන විට බිෂ්ර්ගේ මුහුණ අළු පාටට පත් වී මරණයට පත් විය‍. කෙසේ වෙතත් මුහම්මද් නබිතුමා එම කාන්තාවට සමාව දුන්නේය.

මුස්ලිම්වරු නිසා මෙවන් ඉරණමකට ලක් වූ තවත් කාන්තාවකි සෆියා. මැය මීට පෙර බනී කුරයිසා වාංශිකයින් අගල් සටනෙහිදී මුහම්මද් නබිතුමාට එරෙහිවීමට පෙළඹවීම හේතුවෙන් මරණයට පත් කළ බනී නදීර් වංශ නායක හුයයිගේ දුව විය. මැය වත්කම් සැඟවීම හේතුවෙන් මරණයට පත්කරන ලද කිනානාගේ වැන්දඹුව ද විය. මැය මේ වන විට වයස අවුරුදු දහ හතක් වූ අතර මාස දෙකකට පමණ පෙර කිනානාව විවාහ කරගන්නා ලදුව දැන් කිනානාගේ වරද හේතුවෙන් මුස්ලිම්වරුන්ගේ සිරකාරියක් බවට පත් ව සිටියි.

මැය කුඩා කළ සිටම අනාගත වක්තෘවරයාගේ පැමිණීම පිළිබඳව ආරංචි වීමෙන් ඔහුගේ පැමිණීම බලාපොරොත්තු වී සිටි අයෙකි. වසර හතකට පමණ පෙර ඇයට කුරෙයිෂි වංශයට අයත් අරාබි ජාතිකයකු තමන් අනාගත වක්තෘ බව පවසා සිටින බව ආරංචි වූ අතර පසුව ඔහු දැන් මදීනාවට පැමිණ සිටින බවට ආරංචි විය. ඇයට වයස දහයක්ව තිබියදී සිදු වූ මෙම සිදුවීම ඇයට තවමත් හොඳින් මතකයේ තිබුණි. ඇගේ පියා සහ මාමා මුහම්මද් නබිතුමාගේ පැමිණීම පිළිබඳව ආරංචි වූ විට ඉතාමත්ම දැඩි ආත්මවිශ්වාසයකින් යුතුව ඔහු බොරු කාරයකු බව තහවුරු කිරීමට ගොස් නැවත රාත්‍රියේ ඉතාමත්ම අධෛර්යමත් ස්වභාවයකින් සහ ශෝකයකින් යුතුව පැමිණි අයුරු ඇයට තවමත් මතකය. ඇගේ තරුණ මනසට තේරුම්ගත නොහැකිව තිබූ කාරණය නම් ඇගේ පියා සහ මාමාට මුහම්මද් නබිතුමා අල්ලාහ් පොරොන්දු වන ලද අනාගත වක්තෘ බව තහවුරු වූ නමුත් ඔහුගේ පැමිණීම පිළිබඳව ඔවුන් දැඩි කනස්සල්ලෙන් යුතුව සිට ඔහුට විරුද්ධ වීමට තීරණය කිරීමයි.

මාස කිහිපයකට පෙර ඇය සිහිනයක් දුටුවාය. එම සිහිනය නම් මදීනාවට ඉහළ අහසෙහි විශාල සඳක් පායා තිබූ අතර පසුව එම සඳ කයිබර් වෙතට ගොස් බැස ඇගේ උකුළ මතට වැටුණි. ඇය සිහිනෙන් අවදි වූ විට ඇය ඇගේ සැමියා වෙත මෙම සිහිනය පිළිබඳව අනාවරණය කළාය. මෙය ඇසූ සැණින් කිනානා කෝපයට පත්ව ඉතා තදින් ඇයගේ කම්මුලට පහර ගැසුවේය. මෙහි අර්ථය නුඹ හිජාස් හි රජු මුහම්මද්ව ප්‍රිය කරන බවයි යන්නෙන් ඔහු කෝපයෙන් මොර දිය. සිර කාරියක් ලෙස ඇයව දැන් මුහම්මද් නබිතුමා වෙත ගෙන පැමිණි අවස්ථාවේ ඇගේ කම්මුලට කිනානා එල්ල කරන ලද පහර තවමත් දිස් විය. මෙය දුටු මුහම්මද් නබිතුමා එම පහරට හේතුව විමසීමේ දී ඇය දුටු සිහිනය සහ කම්මුල් පහරෙහි හේතුව හෙළි කළාය. මෙය ඇසූ මුහම්මද් නබිතුමා ඇයව නිදහස් කර ඇයට යුදෙව් කාන්තවක්ව සිට ඇගේ සමාජය වෙතට යාමට හෝ ඉස්ලාම් ධර්මය වැළඳගෙන තම භාර්යාවක් බවට පත්වීමට යෝජනා කළේය. මා අල්ලාහ් සහ ඔහුගේ දූතයාව තෝරා ගනිමි යන්නෙන් ඇය පිළිතුරු දුන්නාය. මේ අනුව මුහම්මද් නබිතුමා ඇයව මදීනාවට යන අතරතුරදී විවාහ කරගන්නා ලදි.

මුස්ලිම්වරු කයිබර් සිට මදීනාවට වෙනත් මාර්ගයකින් පිටත් වූ අතර එම මාර්ගයේ වාදි අල් කුරා නම් යුදෙව් බලකොටුවද දින තුනක වැටලීමකින් පසුව කයිබර් හි එකඟ වූවාක් හා සමාන කොන්දේසි මත යටත් කරන ලදි.

කවරය |පටුන |පෙර පිටුව | ඊළඟ පිටුව

39 40 41 42 43 44 45 46 47 48 49 50